සමාව ඉල්ලන්නට මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැහැ: ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ කියයි

ඔක් 10, 2019

    නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන මංගල ජන රැලිය අද පැවැත්විණ.

    ඒ කොළඹ ගාලු මුවදොර පිටියේදී.“එක්ව ඉදිරියට“ යන තේමාවෙන් ආරම්භ වූ ජනරැලියට අතිවිශාල පිරිසක් එක්වූහ. සවස 2.30ට පමණ ජනරැලිය ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට මඳ වේලාවකට පසු ජන රැලියට එක්විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, ජනාධිපති අපේක්‍ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජන රැලියට එක්වූයේ උණුසුම් ජනතා ප්‍රතිචාර මධ්‍යයේ

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා...

    “මේ ඓතිහාසික ජනතා රැලියට ලක්‍ෂ ගණනින් එකතු වූ සියලු දෙනාටම මගේ ස්තුතිය පුදකර සිටිනවා. ආරම්භයේ දීම වැදගත් කරුණක් පිළිබඳව මම සමාව ඉල්ලන්නට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවකදී අත්වැරැද්දකින් මට කියවුණා ශ්‍රී මුඛය කියලා. මගේ මුඛයට. මගේ අතින් ඒ සිදුවුණු අඩුපාඩුවට ගෞරවනීය මහාසංඝරත්නයෙන්, රටේ ජනතාවගෙනුත් බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා.

    මම මේ අඩුපාඩුව හඳුනාගත්තා. මම හිතුවා මම සමාව ගත යුත්තේ ලක්‍ෂ ගනනක් ජනතාව එකතු වෙච්ච අවස්ථාවක කියලා. මගේ අතින් යම් අතපසුවීම් සිදු වුණාම මම බලාපොරොත්තු වෙනවා එය අවම කරන්නට. පොදු ජනතාවගේ කකුල් දෙක ළඟට ඇවිල්ලා සමාව ඉල්ලන්නට මේ සජිත් ප්‍රේමදාස පැකිලෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. මේ රටේ ධනවත් නොවන, බලසම්පන්න නොවන මහ සයුරත් සමඟ සටන් කරන කම්කරු ප්‍රජාව, මධ්‍යම ප්‍රාන්තිකයන්, රාජ්‍ය සේවකයින්, සාමාන්‍ය ජනතාව දිනවන රටක් අපි නිර්මාණය කරනවා. ගොවි ජනතාව වෙනුවෙන් ගොවි ප්‍රඥප්තියක් හදනවා. එදා වේල ටුවර්ස් පොරොන්දු දෙන්නේ නැහැ. ගොවි පරපුර වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් හදලා හැම ගොවි පවුලකටම ගොවිතැනේ ඒ ලබාදෙන හැම සහනයක්ම වෙනදටත් වැඩිය ශක්තිමත්ව ලබාදීලා, නිෂ්පාදනයට සහතික මිලක් ලබාදෙන්නට කටයුතු කරනවා. සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කරනවා. ඊට අමතරව තවත් දුගී දුප්පත් ජනතාවට අලුත් සහන පැකේජයක් හැම සමෘද්ධිලාභියෙකුටම, සමෘද්ධියට අමතරව ලබාදෙනවා. මට මේ අපේක්‍ෂකත්වය ලබාදෙන්නට කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාව දැඩි ප්‍රශංසාවට ලක්කරනවා. අපේම ශ්‍රී ලංකාවක්, අපේම සන්නද්ධ ශ්‍රී ලංකාවක් නිර්මාණයට කිරිමට ඒ වරම ලබාදෙන්න. සියලු දෙනාමට ජයවේවායි“ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 20:38

    Latest News