දින 52 කුමන්ත්‍රණකාරී දේශපාලන පෙරළියට වසරයි

ඔක් 26, 2019

    ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සටහන් වී අදට වසරක් සපිරේ.

    මෙරට දේශපාලනය උඩු යටිකුරු කළ දින 52 කුමන්ත්‍රණකාරී දේශපාලන පෙරළිය සිදුවූයේ පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායි. නීත්‍යනුකූල අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බලහත්කාරයෙන් ඉවත් කර, නීත්‍යනුකූල නොවන අගමැතිවරයෙකු සහිත ආණ්ඩුවක් බලයට පැමිණියේය. මේ අපකීර්තිමත් සිද්ධියෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, අභියෝගයට ලක්වූ අතර, පාර්ලිමේන්තු ක්‍රමය මුළුමනින්ම හෑල්ලුවට ලක්විය. අසාර්ථක කුමන්ත්‍රණයත් සමඟ රටේ කීර්තිනාමය පළුදු වූ අතර, ආර්ථිකයට හා දේශපාලනයට සිදුවූ අලාභය මෙතෙකැයි කිව නොහැකිය. දින 52 කුමන්ත්‍රණ කාලය තුළ මහින්ද රාජපක්‍ෂ පාර්ශවය පාර්ලිමේන්තුවේ හැසිරුණේ ඉතා නින්දිත ආකාරයෙන්. කතානායක අසුන ආක්‍රමණය කළ මහජන නියෝජිතයන් පාර්ලිමේන්තු දේපළවලට ද හානි සිදු කළේය. විරුද්ධ පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩුවලින් හා බයිබලයෙන් දමා ගැසීමට තරම් ඔවුන් නිර්ලජ්ජිත වූහ. පාර්ලිමේන්තුවේ ගෞරවය සහ අභිමානය මුළුමනින්ම කෙලෙසි ගියේය. කුමන්ත්‍රණය ඉබේ පරාජයට පත් වූයේ නැත. කතානායකවරයා ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය වෙනුවෙන් අභීතව පෙනී සිටියේය.

    අධිකරණයේ ස්වාධීනත්වය සුරක්‍ෂිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ද නිවැරදි තීන්දුවක් ලබාදුන්නේය. අවසානයේ දින 52 අශිෂ්ට දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදයත්, නීතියේ ආධිපත්‍යයත්, රට තුළ යළිත් ශක්තිමත් ලෙස තහවුරු කරලමින්. ප්‍රජාතන්ත්‍රවාදය වල දැමූ ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් පිරීම නිමිත්තෙන් පහන් පූජාවක් නිදහස් චතුරඝ්‍ර යේදී අද පැවැත්විණ. අඳුරු යුගය නිසැකවම නිමාකරන “අදිටනේ පහන් පෙළහර“ ලෙස එය නම් කර තිබේ. දේශපාලන නියෝජිතයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 26 ඔක්තෝබර් 2019 20:32

    Latest News