අයහපත් කාලගුණය නිසා හම්බන්තොට, මාතර පාසල් හෙට වැසේ (වීඩියෝ)

ඔක් 29, 2019
  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර, මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට දින වසා තැබීමට පියවර ගෙන තිබේ.

    දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පවසන්නේ, එම ප්‍රදේශයන්ට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මේ තීරණය ගත් බවයි. වායු ගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එම නිසා ත්‍රිකුණාමලය සිට හම්බන්තොට, ගාල්ල හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි. උතුර, උතුරු මැද, වයඹ, මධ්‍යම යන පළාත්වල හෙට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. නායයාම් ලක්‍ෂණ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    රාජාංගණය ජලාශයේ වාන් දොරටු හතරක් සහ තඹුත්තේගම අඹගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් මේ වනවිට විවෘත කර තිබේ. හම්බන්තොට, මුරතවෙල ජලාශයේ වාන් දොරටු තුනක් ද විවෘත කෙරිණ. අප වාර්තාකරු පැවසුවේ එම ප්‍රදේශයන්හි පහත් බිම්වල වෙසෙන ජනතාවට ගංවතුර අවදානමක් මතුව ඇති බවයි. බලපිටිය, ගිනිගල්කන්ද ප්‍රදේශයේ නිවසක් අසල පස් කන්දක් නාය ගොස් තිබේ. සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙරළාශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ධීවරයින් මුහුදු යාමෙන් වැලකී සිටිමට පියවර ගෙන තිබේ. අප වාර්තාකරු පවසන්නේ , අයහපත් කාලගුණය හේතුවෙන් ධීවර පවුල් 25,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි.

    අම්බලන්තොට හා හම්බන්තොට ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්වයක් හටගෙන තිබේ. තිස්ස-කතරගම මාර්ගය හා තංගල්ල-වීරකැටිය මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවූ බව අප වාර්තාකරු පවසයි.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 20:37

    Latest News