රජයේ සේවකයෙක්ගෙම වැටුප 107%කින් වැඩි වෙලා තියෙනවා; අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර

ඔක් 29, 2019

    රාජ්‍ය සේවකයින් සඳහා මෙතෙක් ඉහළම වැටුප් වැඩිවීම ලබාදී ඇත්තේ වත්මන් රජය බව, එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

    රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියා සිටින්නේ රාජ්‍ය සේවකයින්ට ස්වාධීන ලෙස තම රාජකාරි ඉටු කිරීමට පසුගිය කාලය තුළ හැකිවූ බවයි. අද කොළඹ පැවති එක්සත් ජාතික පක්‍ෂ මාධ්‍ය හමුවේදී ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සහාය දැක්වීමට අද එක්වූහ. විජය කුමාරතුංග මහතාගේ සහෝදරිය රූපා කුමාරතුංග මහත්මිය ඇතුළු විජයවාදී මහජන පෙරමුණේ සහ නැගෙනහිර පළාතේ පක්‍ෂ කිහිපයක් ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කර තිබේ. මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබූ දෝෂ සහිත ස්ථාන 275ක් නිරීක්‍ෂණය කිරීමට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ පාර්ශවය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කර ඇත්තේ, සමස්ත දිවයිනේම ජනතාවට ඡන්දය ප්‍රකාශ කළ හැකි අපේක්‍ෂකයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

    අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා...

    “මේ රටේ පහලොස් ලක්‍ෂයක් රජයේ සේවකයින්ට රුපියල් දහදාහක් ලබලා දුන්නා. ඒ වගේම ඒ රුපියල් දහ දාහම මුලික වැටුපට අපි එකතු කරන්න කටයුතු කළා අවුරුදු පහක්. පොලිසියේ නිලධාරින්ට මේ දීමනාවට අමතරව ඒගොල්ලෝ පැය 08ට වැඩියේ පැය 12ක්, 16ක් වැඩ කළ නිසා 40%ක අතිරේක දීමනාවක් 28,000ක් ගත්ත පොලිස් රාලහාමි කෙනෙක්ගේ පඩිය අද 58,000යි. මහින්ද රාජපක්‍ෂවත්, ආරක්‍ෂක ලේකම් වෙලා හිටිය ගෝඨාභය රාජපක්‍ෂවත් යුද්දේ කරලා ඉවර වෙලා සත පහක්වත් හමුදාවට පඩි වැඩි කළේ නැහැ. රටේ හැම රජයේ සේවකයෙක්ගෙම වැටුප 107%කින් වැඩි වෙලා තියෙනවා. ඉතිහාස‍යේ කවදාවත් වැඩි වෙලා නැහැ. මහින්ද රාජපක්‍ෂ මහත්තයා 2009 කිව්වා රු. 2500ක් දෙනවා කියලා. එතුමට 2014 වෙනකම් දෙන්න බැරිවුණා. වැඩිම වැටුප් වැඩිකරලා තියෙන්නේ 10%ක් නැත්නම් 15ක්. අපි 107%ක්. සමහර අයට 140%ක්, සමහර අයට 150%ක්. මං පැහැදිලිව කියනවා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා හැටියට දැන් රජයේ සේවයේ නියුතු සියලු දෙනාටම පරණම විශ්‍රාම වැටුප ලබාදෙන්න අපි කටයුතු කරනවා“ යැයි අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

    Latest News