කෘතහස්ත දේශපාලඥයෙකු වූ දි.මු. ජයරත්න මහතා දැයෙන් සමුගනී (වීඩියෝ)

නොවැ 23, 2019

    අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිත අද පස්වරුවේ සිදු කෙරිණ.

    ඒ ගම්පොළ, දොළුව, හලියද්ද ක්‍රීඩාංගණයේ දී. මෙරට කෘතහස්ත දේශපාලනඥයෙක් වූ දි.මු. ජයරත්න මහතා මියයන විට 88 වැනි පසුවිය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් අමාත්‍යවරයෙකු හා අග්‍රාමාත්‍යවරයෙකු ලෙස ඔහු කටයුතු කළේය. අවමංගල්‍ය සභාවේ කටයුතු ආරම්භ කරමින් පිරිස පංච ශිලයෙන් පිහිටවනු ලැබුවේ, මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින්. මතක වස්ත්‍ර පූජාව සහ පැන් වැඩිම ද අනතුරුව සිදු කෙරිණ.

    මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක ආනමඩුවේ ධම්මදස්සී, අමරපුර මහ නිකායේ මහනායක කොටුගොඩ ධම්මාවාස, රාමඤ්ඤ නිකායේ සංඥාලේඛකාධිකාරී අංකුඹුරේ පේමවංශ හිමියන් ද අනුශාසනා පැවැත්වූහ.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශෝක ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද, එක්සත් ජාතික පක්‍ෂයේ ශෝක ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන යන මහත්වරුන් ඉදිරිපත් කළේය.

    හමුදා වෙඩි මුර පවත්වා අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දේහයට උත්තමාචාර පුද කෙරිණ. චිතකයට ගිනි දැල්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි.

    Last modified on සෙනසුරාදා, 23 නොවැම්බර් 2019 20:56

    Latest News