සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පීඩනයෙන් මුදා ගැනීමට කඩිනම් සහන සුදානම්....රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

දෙසැ 02, 2019

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී සිටින පීඩාකාරී තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා කඩිනම් සහන ලබා දෙන බව සංවර්ධන බැංකු හා ණය යෝජනා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    සිය දේපල අහිමිවීම දක්වා දුර දිග ගොස් ඇති මෙම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට අවශ්‍ය මූලික සාකච්ඡා රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සමග අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ බවත් ඔහු කියා සිටියේය.

    ඒ පිළිබඳ වාර්තා බැංකු මගින් ලද පසු ඉදිරි සතියක පමණ කාලය තුළ සහන ලබා දීමට සූදානම් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. අද (02) පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ දී වැඩ භාර ගනිමින් ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ය.

    අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශය වෙත පැමිණි ශෙහාන් සේමසිංහ මහතාව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් පිළිගනු ලැබිණ. අනතුරුව සර්ව ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු පිරිත් සජ්ඤායන මධ්‍යයේ අමාත්‍යවරයා සුබ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළේය.

    මාධ්‍යවේදීන් ඇමතූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.....

    “අපි දුටුවා මීට පෙර පැවැති රජය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුව වුණේ නිසි වැඩපිළවෙළක් නොමැති වීම. නමුත් අපි බලයට පත් වුණේ ඉතා පැහැදිලිව අපි කරන්නෙ මොකක් ද කියල ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජනතාවට ඉදිරිපත් කරල. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තමයි අපි කටයුතු කරන්නෙ. ඒ වගේ ම ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු අපි සියලු දෙනා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති සියලුම පොරොන්දු වර්ෂ පහක කාලය තුළ ඒ ආකාරයෙන් ම ඉටු කරන්න බැඳිල ඉන්නවා.

    විශේෂයෙන් ම අද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඉඳල මහා පරිමාණ ව්‍යාපාරිකයන් දක්වා ඇති වෙලා තියෙන පීඩනය සැහැල්ලු කරන්න අවශ්‍ය මොනවද කියල අපි බැංකුවලින් වාර්තාවක් ඉල්ල තියෙනවා. ණය තොරතුරු කාර්යාංශය මගින් ඇතැම් ව්‍යාපාරිකයන් අසාදු ලේඛන ගත කරල තියෙනවා. ව්‍යාපාරිකයන්ට තමන්ගෙ දේපොළ අහිමිවීමේ අවධානමක් තියෙනවා. සතියක වගේ කාලයක් ඇතුළත වාර්තා ලැබුණු වහාම අපි මේ ව්‍යපාරිකයන්ට අවශ්‍ය සහන ලබා දෙන්න කටයුතු කරනවා.

    අපි සියලුම ව්‍යවසායකයන්ට ආරාධනා කරනවා ඔබේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න. අපට ඉදිරියේ දී ආයෝජන අවස්ථා රැසක් ලැබෙයි. දේශීය වගේම විදේශීය ආයෝජකයන්ට දිරි දෙන ආකාරයේ ආයෝජන ප්‍රතිපත්ති අපි හඳුන්වා දීල තියෙනවා.

    විවිධ මූල්‍ය ආයතන කඩා වැටීම් වගේම ඇතැම් මූල්‍ය ආයතනවල අයථා කටයුතු හේතුවෙන් පීඩාවට වගේම මුලාවට පත් වුණ ගනුදෙනුකරුවන් සම්බන්ධයෙන් අපි දන්නවා. ඔවුන් සමග සාකච්ඡා කරල රටේ ආර්ථිකයටත් හානි නොවෙන, ගනුදෙනුකරුවන්ටත් හානියක් නොවන ආකාරයෙන් එම ගැටලුව විසඳන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ අයථා ලෙස කටයුතු කර ඇති මුල්‍ය ආයතන හා හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න හැකි ආකාරයේ වටපිටාවක් සකස් කිරීමටත් අපි කටයුතු කරනවා.

    ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ වේදිකාවෙදි පොරොන්දුවක් ලබා දුන්නා. ඒක ප්‍රතිපත්ති ප්‍රගකාශයටත් ඇතුළත් කරල තියෙනවා. ඒ නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය විතරක් නෙවෙයි ගොවි ණය ඇතුළු ණය වර්ග කපා හැරීම සම්බන්ධයෙනුත් අපි කටයුතු කරනවා. මම මුලින් කියපු බැංකු වාර්තා ලැබුණට පස්සෙ ඒ පිළිබඳ අපි ඉදිරි පියවර ගන්නවා” යැයි ඔහු කියා සිටියේය.

    Latest News