රටේ ඉඩම් විදේශයන්ට පැවරීමක් නැහැ: ප්‍රතික්ෂේප වූ දේශපාලකයින්ගේ චෝදනා

ජන 02, 2020

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාලනය තුළ ශ්‍රී ලංකාවේ ඉඩම් විදේශයන් වෙත පැවරීමක් කිසිසේත්ම සිදු නොවන බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත් ඔහු කියා සිටි.

    ශ්‍රී ලංකාව තුළ ආයෝජනයට හිතවාදී පරිසරයක් නිර්මාණය වෙමින්, විදේශ ආයෝජකයන් පැමිණීම ආරම්භ වීමත් සමග විරුද්ධ දේශපාලන කණ්ඩායම් ජනතාව නොමග යැවීමට උත්සහ දරමින් සිටින බව අමාත්‍යවරයා පවසයි. ෂෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (02) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිණි.

    එහි දී අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

    ‘‘ඇ.ඩො. මිලියන 250ක මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියක් සඳහා සූදානම් වීමත් සමග මේ චෝදනා එල්ල වෙන්න පටන් අරගෙන තියෙනවා. කොළඹ අක්කර තුනක භූමියක් විදේශ රටකට පවරන බවට ඇතැම් පරාජිත දේශපාලනඥයන් කරන චෝදනා රජය ප්‍රතික්ෂේප කරනවා. එම ඉඩම මිශ්‍ර ආයෝජනයක් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය හරහා 99 අවුරුදු බදු පදනම යටතේ අදාළ සමාගම පැවරීමක් තමයි සිදු වෙන්නෙ. 2014 වසරේ දී ආරම්භ වූ මේ ක්‍රියාවලිය පසුව පැවැති එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ රජය විසින් නිසි පරිදි කළමනාකරණය කළේ නෑ. ඒ නිසා මෙම ආයෝජනය පසුබෑමට ලක් වෙලා තිබුණා. නමුත් වත්මන් රජයේ විදේශ ආයෝජනයට හිතකර පරිසරය තුළ එදා ඇ.ඩො. මිලියන 200ක්ව තිබුණ අයෝජනය ඇ.ඩො. මිලියන 250 දක්වා වැඩි කරල ආයෝජනය කරන්න අදාළ සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන් ම මේ ආයෝජනය තුළ මහල් 30ක ගොඩනැගිල්ලක් ඉදිකෙරෙනවා වගේ ම නිවාස ඒකක 700ක් පමණ ස්ථාපනය කරන්න නියමිතයි.

    අපි පැහැදිලිව කියන්න ඕනෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා යටතේ මේ රටේ ඉඩම් විදේශයන්ට විකිණීමක් වෙන්නෙ නෑ. ජනතාවගේ ඡන්දයෙන් පරාජයට පත් වූ දේශපාලනඥයන් මේ සූදානම් වෙන්නෙ අසත්‍ය ප්‍රචාර හරහා ඒ පරාජය වසා ගන්නයි.

    පසුගිය රජයේ ක්‍රියාකාරකම් නිසා රටට බොහෝ දේ අහිමි වුණා. අර්බුදයක් නිර්මාණය වුණා. 2015 වෙද්දි තිබුණ 6.8% ආර්ථික වර්ධන වේගය 2% පමණ දක්වා අඩු වුණා. මහ බැංකු වංචාව සිදු වුණා. මේ සියල්ලෙන් සිදු වූ ආර්ථික පරිහානිය අවම කර ගන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ජනතා අපේක්ෂා වෙනුවට පෞද්ගලික න්‍යාය පත්‍ර ඉදිරියට ආපු යුගයක් අපි අවසන් කළා.

    සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් රජය දැන්ටමත් අවධානය යොමු කරල තියෙන්නෙ. තව දුරටත් අපි ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරල ඔවුන්ට ලබා දෙන සහන සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිතයි. මේ සියල්ල විනිවිධභාවයෙන් යුතුව සිදු වෙනවා. රජයේ ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙනවා.

    පසුගිය පාලන විසින් විශාල වශයෙන් ණය ලබාගෙන තියෙනවා. අපි පිළිගත් රජයක් විදියට ඒ ණය ගෙවිය යුතුයි. දැනට අපට ණය ගෙවීමේ ගැටලුවක් නෑ. අපි ණය ක්‍රමානුකූලව ගෙවාගෙන යමින් පවතිනවා. ඒ වගේ ම දැනට ණය ලබා ගැනීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරල නෑ. මොකද අපි ණය ලබා ගැනීමට වඩා ආයෝජන කෙරෙහි විශ්වාසය තියල කටයුතු කරනවා. අපට අවශ්‍ය වුණොත් ණය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරනවා“ යැයි ඔහු පැවසිය.

     

     

     

     

     

     

    Latest News