මාධ්‍ය නිදහසට බලපෑම් නොකරන බවට ජනපති දුන් සහතිකය

දෙසැ 12, 2019

    රටේ මාධ්‍ය නිදහසට තම පාලන කාලයේ දී කිසිඳු බලපෑමක් එල්ල නොවන බවට ස්ථීර වශයෙන්ම සහතික වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඕනෑම සාධාරණ විවේචනයකට ඉඩ ඇති අතර රටට සහ රටේ කීර්ති නාමයට හිතකර මාධ්‍ය මෙහෙවරක නිරත වෙමින් මාධ්‍යයෙන් රටට වියයුතු වගකීම් ඉටුකිරීමට සියලු මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා කියා සිටි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අද (12) ජනාධිපති කාර්යලයේ දී පැවැත්විණ.

    පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනාධිපතිවරයා ලෙස ජනතාව තමා තෝරා පත් කර ගත්තේ අපේක්ෂා රැසක් පෙරදැරිව බව ඔහු පෙන්වාදුනි. දේශපාලනඥයන්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, දූෂණය පිටුදැකීම සහ ආර්ථික සංවර්ධනය ඒ අතර ප්‍රමුඛ වේ. අරමුණ ජය ගැනීමේදී මාධ්‍යයේ සහාය තමා වෙත නොඅඩුව ලැබෙනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළේය.

    ආයෝජන සහ ආර්ථික සබඳතා ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගීමට රටේ ප්‍රතිරූපය ඉතා වැදගත් බවත් රටේ ප්‍රතිරූපය ගොඩනැගීමේදී ද මාධ්‍යයට පුළුල් වගකීමක් පැවරෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා අවධානරය කළේය. පසුගිය දිනවල සංවාදයට ලක් වූ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට අදාළ සිදුවීමේ දී මෙරට මාධ්‍යවල හැසිරීම පිළිබද සිය ප්‍රසාදය පළ කළේය.

    ජාත්‍යන්තර මාධ්‍ය අනවශ්‍ය අන්දමින් එම සිදුවීම උලුප්පා දැක්වීමට ගත් උත්සාහය පිළිබඳව කණගාටුව පළ කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ඒවා නිවරුදි කිරීමේ හැකියාව ද මෙරට මාධ්‍ය සතුව පවතින බවයි.

    නගර අලංකරණ කටයුතු මෙන්ම රට පුරා නිර්මාණය වී ඇති චිත්‍ර ඇදීමේ රැල්ල පිළිබදව මෙහිදී මාධ්‍ය දැනුවත් කළ ජනාධිපතිතුමා පැවසුවේ එය කිසිවෙකුගේ ඉල්ලීමක් අනුව ආරම්භ වූවක් නොව රටට ආදරය කරන තාරැණ්‍යය අතරින්ම බිහි වූ නිර්මාණශීලි ව්‍යපෘතියක් බවයි. කෙසේ වෙතත් රටට ආදරය කරන එම කණ්ඩායම් දිරි ගැන්වීම වෙනුවෙන් මාධ්‍යයේ දායකත්වය නොඅඩුව ලැබීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය. 

    විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍ය ආයතන ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 20:00

    Latest News