ජනතාවට අවශ්‍ය නිවැරදි නායකත්වයක් මිස ගෝඨාභය කෙනෙකු නොවේ - ජනපති

ජන 09, 2020

    ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපතිතුමා පවසයි.

    අවශ්‍යතා හඳුනාගනිමින් පොරොන්දු ඉටු කිරීමට හැකි උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) අරලිගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමින් සඳහන් කළේය.

    වැරදි මාවතක ගිය රට නිවැරදි දිසාවට යොමු කරන පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපතිතුමා එහිදි කෘතඥතාව පළ කළේය.  තරුණයාගේ මෙන්ම සමස්ත ජනතාවගේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කිරීමට තම රජය හැකි උපරිමයෙන් ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පැවසීය. තමා ජනාධිපති ධූරයට පත් කළ පරිදි සිය ප්‍රතිපත්ති ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙන යාමට තරුණ සහාය අපේක්ෂා කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

    ගත වූ වසර 05 තුළ ආර්ථිකය මෙන්ම රාජ්‍ය ආයතන සියල්ලම බිඳ වැටිණා. ආර්ථිකය ශක්තිමත් කොට ලාබ ලබන ඉහළ කාර්යක්ෂමතාවක් සහිත රාජ්‍ය ආයතන පද්ධතියක් ගොඩනගන බවට එතුමා සහතික විය.

    රටේ ඉදිරි ගමන සඳහා සෙසු රටවල් සමඟ එක්ව ක්‍රියා කිරීමට තාක්ෂණය භාවිත කළ යුතුය. අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණයට සහ තොරතුරු සංනිවේදනයට මුල් තැන දෙමින් වෙනස් කිරීමේ අවශ්‍යතාව පවතී. එය කඩිනම් කිරීමෙන් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් බිහි කිරීමට මෙන්ම ඉහළ වේතනයක් ලබා ගැනීමට හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. දියුණු රටවල් ආදර්ශයට ගනිමින් වයස අවුරුදු 20ක් වන විට විශ්වවිද්‍යලයෙන් තරුණයන් රැකියා සඳහා යොමු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. විශ්ව විද්‍යාලවලට බඳවා ගැනිමේ දී මෙන්ම නවක වදය හේතුවෙන් සිදුවන හානිය පිටුදැකීමට කාලය එළැඹ ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

    තොරතුරු තාක්ෂණය දියුණු කිරීමෙන් ක්ෂේත්‍ර ගණනාවක ස්වයං රැකියා අවස්ථා දියුණු කර ගත හැකිය. සංචාරක, වැවිලි සහ කෘෂි කර්මාන්තය මගින් රැකියා ප්‍රශ්නයට විසඳුමක් මෙන්ම රටේ ආර්ථිකයට ඉහළ ආදායමක් එක් කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. විවිධ අසත්‍ය ප්‍රචාරයන්ට හසුව තම තරුණ කාලය නාස්ති කර නොගන්නැයි ජනාධිපතිතුමා තරුණ පිරිසගෙන් ඉල්ලා සිටියේය.

    prezgottayouth1 px 900 20 0

    පින්සල, උදැල්ල, නගුල අතට ගත් තරුණ පරපුර රට ගොඩනැගීමට ඉදිරියට පැමිණ ඇති බව සම්මේලනය අමතමින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. රට ගොඩනැගීමේ ශක්තිය තරුණ පරපුරයි. ලෝකය ජය ගැනිමට තරුණ පරපුර ගෙනයන වැඩපිළිවෙළට රජය හිස නමා ආචාර කරන බව අගමැතිතුමා පැවසීය.

    මැතිවරණ කොට්ඨාස 160ක තරුණ නියෝජිතයන් සහභාගී වූ සමුළුවට මහින්ද යාපා අබේවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධණ, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ යන අමාත්‍යවරු සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 19:44

    Latest News