තලෙබාන් සංවිධානය අන්තර්වාර රජයක් පත්කරයි

සැප් 08, 2021

    තලෙබාන් ත්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්තානයේ අන්තර්වාර රජයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනූව, ඔවුන් ඇෆ්ගනිස්තානය නම් කර ඇත්තේ, ඉස්ලාමීය එමිරේට් රාජ්‍යයක් ලෙසයි.

    එරට නව අන්තර්වාර රජයේ අගමැතිවරයා ලෙස, තලෙබාන් සංවිධානයේ පුරෝගාමියෙකු වන මුල්ලා මොහොමඩ් හසන් අකුන්ඩ් පත්කර තිබේ.

    මුල්ලා හසන් තලෙබාන් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘ මුල්ලා ඕමාර්ගේ සමීපතමයෙකු වෙයි. තලෙබාන් සංවිධානය, මෙලෙස නව රජයක් පිහිට වූයේ ඇෆ්ගනිස්තානයේ බලය මුළුමණින්ම තහවුරු කර ගැනීමෙන් සති කිහිපයකට පසුවයි.

    උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් වන පන්ෂීර් නිම්නය ද පසුගිය ඉරිදා තලෙබාන් සංවිධානය යටතට පත් විය.

    අන්තර්වාර රජයේ අගමැතිවරයා ලෙස පත් කර ඇති මුල්ලා මොහොමඩ් හසන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අසාදු ලේඛනයට එක්කර ඇති පුද්ගලයෙක්.

    නව රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇති සිරජුඩීන් හක්ඛානි අමෙරිකානු එෆ් බී අයි ඔත්තු සේවය මගින් අවශ්‍ය පුද්ගලයෙකු ලෙස නම් කර ඇති හක්ඛානි සන්නද්ධ කණ්ඩායමගේ නායකයායි.

    වැඩබලන අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම ස්ථීර තලෙබාන් රජයක් පිිහිටුවීමේ මූලික පියවර ලෙසයි සැලකෙන්නේ. එම සංවිධානය මින් පෙර ප්‍රකාශ කළේ සියලු පාර්ශවයන් නියෝජනය කෙරෙන පරිදි පරිපූර්ණ රජයක් පිහිටුවන බවයි.

    Last modified on බදාදා, 08 සැප්තැම්බර් 2021 11:50

    Latest News