වාහන සිහිනය මුහුදු පතුලේ....

මාර් 02, 2022

    අති සුඛෝපභෝගී මෝටර් රථයක් හිමිකර ගැනීම, බොහෝ දෙනාගේ සිහිනයක්.

    මේ නිසාම මිල අධික මෝටර් රථ හඳුන්වනු ලබන්නේ, "සිහින වාහන" යනුවෙන්. අලුතෙන්ම නිෂ්පාදනය කරනු ලැබූ එවැනි අති සුඛෝපභෝගී වාහන 4,000 ක්, කිසිවෙකුටත් හිමිකර ගැනීටම ඉඩක් නොමැතිව, අත්ලාන්තික් සාගර පත්ලේ ගිලී ගොස් තිබෙනවා.ඒ, එම වාහන ප්‍රවාහනය කළ නෞකාව ගිණිගෙන මුහුදුබත් විමත් සමගයි.

    ජර්මනියේ සිට අමෙරිකාව බලා යාත්‍රා කරමින් තිබූ "ෆෙලිසිටි ඒස්" නැමති නෞකාව, ඊයේ රාත්‍රී මුහුදුබත් වුණා. සති 02 ක කාලයක් පුරා එහි ගින්නක් හටගෙන තිබූ අතර, එය නිවාදැමීමට හැකියාවක් ලැබුණේ නැහැ. මෙම අනතුරට ලක්වූයේ පෘතුගාලයට අයත් ඇසෝරේස් දූපත්වලට ඔබ්බෙන් මුහුදු තීරයේදී. මේ වන විට ‍නෞකාව මෝටර් රථ 4,000 ක් ද සමග මුහුදු පත්ලේ මීටර් 3,500 ක්, එනම් සැතපුම් 02 කට අධික ගැඹුරින් යුත් ස්ථානයක පවතින බව, සොයාගෙන තිබෙනවා.

    මෙම නෞකාවේ පෝෂ් රථ 1,100 ක් හා බෙන්ට්ලි වර්ගයේ රථ 189 ක් ද ඇතුළත්ව තිබූ බවයි, වාර්තා වන්නේ. එම වාහනවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 155 කට අධික බවට, ගණන් බලා තිබෙනවා නෞකාවේ කාර්ය මණ්ඩලයේ 20 දෙනා ආරක්ෂිතව බේරාගත් බව පෘතුගාල නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

    Latest News