රුසියානු-යුක්‍රේන යුද ගැටුමේ නවතම තතු...

මාර් 02, 2022

    දකුණු යුක්‍රේනයේ ක්‍රමෝපායික වශයෙන් වැදගත් නගරයක් තම ග්‍රහණයට ගත් බව,  රුසියාව පවසනවා.

    මේ අතර, රුසියානු පැරෂුට් භටයන් යුක්‍රේනයේ දෙවැනි ප්‍රධාන නගරය වන කාකිව් වෙත ගොඩ බැස එය අත්පත්කර ගැනීමේ සටන වේගවත් කර තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ඒකාධිපතියෙකු බව, සිය කොන්ග්‍රස් මණ්ඩල දේශනයේදී ප්‍රසිද්ධයේ ප්‍රකාශ කළා. කළු මුහුද අසබඩ කේර්සන් නගරය දැඩි සටනකින් පසු අල්ලා ගත් බවයි, රුසියානුවන් ප්‍රකාශ කරන්නේ. දකුණු යුක්‍රේනයේ සිට ඉදිරියට ඇදෙන හමුදාවලට සැපයුම් මාර්ග විවෘත කිරීම හා ඒවා ආරක්ෂා කිරීම රුසියාවේ අපේක්ෂාවයි.

    ඉදිරි පෙළ සටන් කරන රුසියානු සේනාංක මේ වන විට සැපයුම් හිඟතාවකට ලක්ව ඇතැයි, මාධ්‍ය වාර්තා කරනවා. මේ නිසා කිව් අගනුවර අල්ලා ගැනීමට ඉදිරියට ඇදෙන රුසියානු සන්නද්ධ රථ පෙළ ඊයේ දිනය තුළ ඉදියට ගමන් නොකළ බවයි, විදෙස් බුද්ධි අංශ සඳහන් කරන්නේ. සැතපුම් 40 ක් දිගැති යුද ටැංකි හා අනෙකුත් ප්‍රහාරක රථ ගතවූ පැය 48 තුළ ඒ ආකාරයෙන්ම පැවති බව, බුද්ධි අංශ සදහන් කරනවා. ඉන්ධන හා අනෙකුත් සැපපයුම්ද ප්‍රමාද වීම මීට හේතුව විය හැකි යයි විශ්වාස කෙරෙනවා. අධික ශීත කාලගුණය සටනේ යෙදී සිටින දෙපාර්ශවයේම සෙබළුන්ට මෙන්ම පලායන සාමාන්‍ය වැසියන්ට ද එල්ලකරන්නේ දැඩි තර්ජනයක්.  

    රුසියානු ගුවන් හමුදාව ප්‍රහාර ගණනාවක් සිදුකළ ද ඉතා පුළුල් ගුවන් මෙහෙයුම් වලට අවතීර්ණ නොවන බවක් දක්නට ඇතැයි, යුද විශේෂඥයන් පෙන්වා දෙනවා. රුසියානු ගුවන් හමුදාවේ එම ආරක්ෂාකාරී පිළිවෙතට හේතුව කුමක්ද යන්න ගැන අපහැදිළි බවයි, අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ. සටන 7 වැනි දිනයට එළඹෙද්දී කිව් අගනුවර හා සෙසු ප්‍රධාන නගර වෙත එල්ලවන රුසියානු ප්‍රහාර ක්‍රමයෙන් දැඩි කෙරෙන ලකුණු දක්නට ලැබෙනවා. කිව් අගනුවර ආරක්ෂාකරන යුක්‍රේන සෙබළුන්ගෙන් එල්ලවන ප්‍රතිප්‍රහාර මේ දක්වා දුර්වල නොවීම රුසියානුවන් මුහුණ දෙන අභියෝගයක්. ඉක්මනින් කිව් අගනුවර අල්ලා ගැනීමට නොහැකි වුවහොත් එය රුසියානු හමුදාවේ ධෛර්ය පිරිහීමට හේතුවක් වනු ඇතැයි, සැලකෙනවා.

    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට කොන්ග්‍රස් මණ්ඩලයේ උභය මන්ත්‍රි මණ්ඩලය අමතා සිදුකරණ වාර්ෂික දේශනය ඊයේ පැවැත්වුණා. එහිදී ඔහු කියා සිටියේ, රුසියාවට සිදුවන්නේ කුමක්ද යන්න ගැන ජනාධිපති පූටින්ට අවබෝධයක් නොමැති බවයි. යුක්‍රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දඬුවම් විඳීමට රුසියානු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායමට සිදුවනු ඇතැයි, ජනාධිපති බයිඩන් අනතුරු අඟවන්නේ.  

    මේ අතර අමෙරිකානු තාක්ෂණ සමාගම් සියල්ල රුසියාවට සේවය ලබාදීම සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා. ඇපල්, ගූගල්, මයික්‍රොසොෆ්ට්, බෝයිං යන සමාගම් මෙන්ම ට්විටර් හා ෆේස්බුක් වැනි සමාජ ජාලා ද රුසියාවට සේවා ලබාදීම නවතා දැමූ ආයතන අතර වනවා.

    මේ අතර බටහිර අන්තර්ජාල සමාගම් හා මාධ්‍ය වෙබ් වේදිකා රුසියානු රජයෙන් හා ඊට හිතවත් පාර්ශවයන්ගෙන් නිකුත් වන ප්‍රවෘත්ති පළකෙරෙන රුසියානු මාධ්‍ය වාරණය කිරීමට පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන ආශ්‍රිතව රුසියානු ආර්-ටී රූපවාහිනිය පවත්වාගෙන යන ඇප් හා මෘදුකාංග අක්‍රීය කිරීමට අමෙරිකානු සමාගම් පියවර ගත්තා. මේ නිසා යුද්ධය පිළිබඳව රුසියානු පාර්ශවය ඉදිරිපත් කරන තොරතුරු ලෝකයට ලබාගැනීමට බරපතල බාධාවක් එල්ලවී තිබෙනවා. දැනට ගෝලීය මාධ්‍ය ඔස්සේ වැඩිපුර විකාශය කරනු ලබන්නේ, යුක්‍රේනය හා ඒ සම්බන්ධයෙන් බටහිර ආයතන නිකුත් කරන ප්‍රවෘත්ති පමණක් වීම විශේෂත්වයක්.

    Latest News