ප්‍රාණ ඇපකරුවන් 4ක් එලොව යැවූ හමාස්

ජූනි 04, 2024

    හමාස් සංවිධානය පැහැරගෙන ගිය ප්‍රාණ ඇපකරුවන්ගෙන් තවත් සිව් දෙනෙකු ඝාතනය කර ඇතැයි, ඊශ්‍රායලය පවසනවා.

    ඔවුන් කියා සිටින්නේ, ඛාන් යුනිස් නගරයේ සටන් පැවති අවස්ථාවේ මෙම සිව්දෙනා ඝාතනය කර ඇති බවයි.

    හමාස් සංවිධානය මියගිය අයගේ සිරුරු තවමත් රඳවාගෙන සිටින බව,  ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ කියා සිටියා. මියගිය සිව්දෙනාම පිරිමි පුද්ගලයින් බවට තහවුරු වී තිබෙනවා. ඔවුන් අවුරුදු 51 සිට 85 දක්වා වන  වයස් සීමාවේ  පසුවන්නන්.

    මියගිය අයගේ අනන්‍යතාව ඊශ්‍රායලය මේ වන විට හෙළි කර තිබෙනවා. ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ,  ඛාන් යුනිස් නගරයේ සටන් පැවති අවස්ථාවේ හමාස් සංවිධානය මෙම පුද්ගලයින් ඝාතනය කර ඇති බවයි.

    මින් එක් අයෙකු මිය ගිය බව පසුගිය අප්‍රේල් මාසයේ දී හමාස් සංවිධානය නිවේදනය කර තිබුණා. පසුගිය ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය, ඊශ්‍රායල භූමිය තුළට පැමිණ එල්ල කළ ප්‍රහාරයෙන් 1,200 ක පිරිසක් ඝාතනය වුණා.  251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරය‌ට රැගෙන යනු ලැබුවා.

    ඉන් 105 දෙනෙකු පසුව නිදහස් කළ අතර 120 දෙනෙකු  පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නැහැ. ඊශ්‍රායල රජය පවසන්නේ, ඉන් බොහෝ දෙනෙකු මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි.  

    හමාස් සංවිධානයේ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායලය එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ මිය ගිය සංඛ්‍යාව මේ වන විට තිස් හයදහස් හාරසීය ඉක්මවා ඇති අතර, ඉන් බහුතරය කාන්තාවන් සහ දරුවන් බවයි, මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

    Latest News