රූපවාහිනී සංස්ථාවේ අයි සහ නේත්‍රා නාලිකා - සරසවි සහ පාසල් සිසුන්ට වෙන් කෙරේ

අප්‍රේ 20, 2020

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අයි සහ නේත්‍රා නාලිකා මගින් විශේෂ අධ්‍යාපන වැඩසටහන් පෙළක් විකාශය කිරීම අද සිට ක්‍රියාත්මකයි.

    මෙය නම් කර ඇත්තේ, ගුරුගෙදර හැදෙන අපි හදන තැන යනුවෙන්.

    මෙරට සිසු දරු දැරියන්ගෙන් අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින් අධ්‍යාපනය වෙනුවෙන් මෙරට රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

    සමාරම්භක උත්සවය රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී අද උදේ පැවැත්විණ.

    කොරෝනා අවදානම හමුවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පිටිවහලක් වීමේ අපේක්ෂාවෙන්, රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කරමින්, වැඩසටහන් විකාශය කිරීම ජනාධිපතිතුමාගේ අදහසකට අනූව ක්‍රියාත්මක වන්නක්.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම ද මීට හිමිව තිබේ.

    අධ්‍යාපනය සඳහා රූපවාහිනී නාලිකා දෙකක් වෙන් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ, අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ආමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතායි.

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ඊට හිමිවිය. 

    අධ්‍යාපන වැඩසටහන් මාලාව සකස් කෙරෙන්නේ පාසල්, විශ්වවිද්‍යාල සහ වෘත්තීය පාඨමාලා හදාරණ දරුවන් ඉලක්ක කරගනමින්.

    පාඨමාලා සැකසීම සිදුකරනු ලබන්නේ ජාතික අධ්‍යාපන ආයතනය විසින්.

    මීට අදාළ ගිවිසුමට බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ දී පසුගියදා අත්සන් තැබිණ.

    අද උදේ 8.00 සිට 7.00 දක්වා අද රාත්‍රී 10.00 සිට රාත්‍රී 12.00 දක්වා ද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන සමග එක්වීමට සිසු දරුවන්ට අවස්ථාව හිමිවෙයි.

    උසස් පෙළ සිසුන් සඳහා සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් තාක්ෂණවේදය සඳහා විද්‍යාව, භෞතික විද්‍යාව, ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව ද උසස් පෙළ විෂය ද ඉගැන්වීමට නියමිතයි.

    හෙට සිට සෑම දිනකම අලුයම 4.00 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

    ගිවිසුමට අනූව අයි සහ නේත්‍රා නාලිකාවන්හි ගුවන් කාලයෙන් 80%ක් අධ්‍යාපන වැඩසටහන් සඳහා වෙන් කිරීමට නියමිතයි.

    ඉන් 60%ක් සාමාන්‍ය අධ්‍යාපන විෂයන් සඳහා වන අතර, ඉතිරි 20%වෙන් කෙරෙන්නේ, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය සඳහායි.

    සියලු වැඩසටහන් විකාශය කෙරෙන්නේ, ජාතික අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභාවේ අනුමැතිය සහිතවයි.

    Last modified on සදුදා, 20 අප්‍රේල් 2020 11:46

    Latest News