තිස්සගේ කුඨ ලේඛනයට කෙටි මාර්ග අවසානයක්

පෙබ 12, 2019

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කිරිමේ නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහුගේ නීතිඥ කාලිංග ඉන්තිද්‍රස්ස අද අධිකරණයට දැනුම් දුන්නේය.

    2015 ජනාධිපතිවරණය සමයේ, මාධ්‍ය හමුවක කූඨ ලේඛනයක් ප්‍රදර්ශනය කර ජාතීන් අතර පවතින සංහිඳියාව කඩාකප්පල් කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. එය අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්තිද්‍රස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට තම සේවාදායකයා අපේක්ෂාවෙන් සිටින බව දන්වා සිටියේය.

    මේ පිළිබඳව කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ මීට අදාළව කරුණු අධ්‍යනය කිරීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

    ඒ අනුව මෙම නඩුව කෙටි ක්‍රමයකින් අවසන් කර ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳව එදින වැඩිදුර කරුණු දක්වන ලෙස දෙපාර්ශවයේ නීතිඥවරුන්ට මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේය.

    විත්තියේ නීතිඥවරුන්ගේ ඉල්ලීමක් පිළිගනිමින් තිස්ස අත්තනායක මහතාට මේ මස 14 සිට මාර්තු මස 10 වනදා දක්වා විදේශ ගතවීමට මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අවසර ලබා දුනී. නඩුව මාර්තු මස 25 වනදා යළි කැඳවිමට නියම කෙරිණ.

    පසුගිය ජනාධිපතිවරණයේ පැවති මාධ්‍ය හමුවක දී එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක් ඇති බව ප්‍රකාශ කරමින් ලේඛනයක් ප්‍රසිද්ධියට පත්කිරීමෙන් ජාතීන් අතර පවතින සංහිඳියාව කඩාකප්පල් කළේ යැයි චෝදනා කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත යටතේ වරදක් සිදුකර ඇති බවට නීතිපති විසින් තිස්ස මෙම නඩුව ගොනු කර ඇත.

    Latest News