රාජ්‍ය දැව සංස්ථාව කෝටි 373ක ලාභ උපයයි

ඔක් 24, 2022

    රාජ්‍ය දැව සංස්ථාව 2022 වසරේ සැප්තැම්බර් මාසය අවසන් වන විට රුපියල් කෝටි 373 ක ලාභයක් උපයා ගෙන තිබෙනවා.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මේ බව අනාවරණය වුණා.

    රාජ්‍ය දැව සංස්ථාව, උසස් ප්‍රමිතියෙන් යුත් දැව නිෂ්පාදන මෙන්ම, වෙනත් ආයතනවලට අවශ්‍ය දැව නීත්‍යනුකූලව සපයන එකම රාජ්‍ය ආයතනයයි. දැවමය භාණ්ඩ මෙරටට ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් රාජ්‍ය දැව සංස්ථාවේ ගෘහභාණ්ඩ නිෂ්පාදන සඳහා මෙරට ඉහළ ඉල්ලුමක් පවතිනවා.

    මේ වසර අවසන් වන විට සංස්ථාවේ ආදායම තවත් කෝටි 25 කින් පමණ ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඉදිරි වසර කිහිපය තුළදී මෙරටට ගෘහ භාණ්ඩ ආනයනය සඳහා අවසර ලබා නොදෙන බව, පැවසූ අමාත්‍යවරයා,                                  

    ජාත්‍යන්තර වෙළෙ‍ඳපොළට සරිලන ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කළා. දැව හා දැව නිෂ්පාදන අපනයනය සඳහා පවතින නීතිමය බාධක සියල්ල ඉදිරි මාස දෙක තුළ අවසන් කිරීමට නියමිතයි.

    අමාත්‍යවරයා කියා සිටියේ, රාජ්‍ය දැව සංස්ථාව විදේශ විනිමය උපයන ආයතනයක් බවට පත් කිරීම රජයේ මූලික ඉලක්කයක් බවයි. කෘෂිකර්ම, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය ඇතුළු පිරිසක් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්ව සිටියා.

    Latest News