රාජ්‍ය ආයතනවල ආදායම් නිසි පරිදි භාණ්ඩාගාරයට ලැබිය යුතුයි - කෝප් කමිටු සභාපති

අප්‍රේ 27, 2022

    රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාන්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පවසයි.

    රාජ්‍ය දැව සංස්ථාව 2021 වර්ෂය සඳහා මෙහෙයුම් ලාභය ලෙස රුපියල් බිලියන 1.4ක් (1,496,155,864) ලබා තිබිය දී රාජ්‍ය භාණ්ඩාගාරය වෙත සම්ප්‍රේෂණය කර ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් වීම පිළිබඳකෝප් කමිටුවේ විශේෂ අවධානය යොමු වී තිබේ.

    මෙහිදී කෝප් සභාපතිවරයා සඳහන් කළේ රාජ්‍ය ආයතන සිය ඉපයීම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත එවීමට සූදානම් විය යුතු බවයි.

    සභාපතිවරයා මේ අදහස් පල කළේ රාජ්‍ය දැව සංස්ථාව එහි 2019 සහ 2020 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා පරික්ෂාව සහ කාර්ය සාධනය ඇගයීම සඳහා පසුගියදා (22) කෝප් කමිටුව වෙත කැඳවූ අවස්ථාවේදීය.

    මහනුවර වැලිගම්පොල හයින්ෆෝඩ් වත්ත නැමැති ඉඩමෙන් ෆයිනස් ගස් 28958ක් කපා ඉවත් කර ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් 2020 ජූනි 30 දින රාජ්‍ය දැව සංස්ථාවට භාරදී තිබුණ ද එම ගස් ඉවත් කිරීම මේ වන විටත් සිදු නොකිරීම පිළිබඳ කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කපා ඉවත් කිරීම සඳහා නිර්දේශ කරන දැව කාර්යක්ෂමව ඉවත් කර අපනයනය කිරීමට කටයුතු කළ හැකි නම් රාජ්‍ය දැව සංස්ථාවට විශාල ලාභයක් ඉපයිය හැකි බවයි.

    ආනයනික දැව සඳහා සහතිකයක් නිකුත් කිරීමට රාජ්‍ය දැව සංස්ථාවට බලය පැවරීම සඳහා සංස්ථා පනත සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස 2012 ඔක්තොබර් 10 පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් දන්වා තිබුණද එය මෙතෙක් සිදු නොවීම සම්බන්ධවද කමිටුවේ අවධානය යොමු විය.

    දැව සංස්ථාවේ නිලධාරීන් දන්වා සිටියේ ඒ සඳහා අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාවක් මේ වන විට ඉදිරිපත් කර ඇති බවයි. මෙම ක්‍රියාවලිය 2012 සිට මේ දක්වා ප්‍රමාද වීම සම්බන්ධවද මෙහිදී කමිටුවේ අවධානය යොමු විය.

    මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන මහින්දානන්ද අලුත්ගමගේ, ජගත් පුෂ්පකුමාර, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, මධුර විතානගේ මෙන්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රාජ්‍ය දැව සංස්ථාවේ නිලධාරිහු පිරිසක්ද සහභාගී වූහ.

    Latest News