ඩයනා ගමගේට එරෙහි නඩුව කල් යයි

ඔක් 24, 2024
    අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය කල්දැමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
    මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. 
     
    මෙම නඩුව අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ අතර  සාක්ෂිකරුවන්ට අද දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර සිතාසී ද නිකුත් කර තිබුණා.
     
    එහෙත් විත්තියේ නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවන බවට කළ දැනුම් දීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන පෙබරවාරි මස 06 වන දා දක්වා කල් තැබීමට නියෝග කළා.
     
    අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන  පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු හතක් ගොනුකර තිබෙනවා.

    Latest News