UNP ප්‍රමුඛ සංධානය ගොඩනැගීම අගෝස්තු අවසානයට පෙර: සියලු පක්ෂ නායකයින් එකඟතාවකට

අගෝ 05, 2019

    ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක වු දේශපාලන සංධානය අගෝස්තු මස අවසන්වීමට පෙර පිහිටුවන බව අග්‍රමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    පසුගිය කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා හා ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් ඇතිවු අස්ථාවරත්වය මත මෙම පුළුල් සංධානය ගොඩනැගීමට සියලු පාර්ශව එකඟතාව පලකර ඇති බවත් එම නිවේදනයේ සඳහන්වේ.

    පක්‍ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්‍ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් දේශපාලන පක්ෂයක් ගොඩනගා ඇති අතර ඊට ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකසා තිබේ.

    ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛව, සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම එකම අධිෂ්ඨානය හා උත්සාහය බව අගමැති සිය නිවේදනයෙන් කියා සිටි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කර ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමේ පුළුල් සැලැස්මක් මෙම සංධානය සතුවේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 අගෝස්තු 05 වන දා කළ විශේෂ ප්‍රකාශය

    2014 අවුරුද්දේ අපි රට වෙනුවෙන් එකට එක්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය යළි තහවුරු කිරීම, ජාතීන් අතර සංහිදියාව ශක්තිමත් කිරීම, කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩ නැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංධානගත වුණේ.

    ගෙවුණු කාලය තුළ රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇද වැටුණු අස්ථාවර තත්වය අපේ අවධානයට යොමු වුණා.

    මේ සියල්ල නිසා වඩාත් පුළුල්, ශක්තිමත් හා ස්ථාවර සංධානයක් පිහිටුවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා. රට සුරැකීම හා රට ගොඩනැංවීම ඉලක්ක කර ගත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමග අපි මේ ගැන ගැඹුරින් සාකච්ඡා කළා. ඒ අනුව අලූත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සංධානයක් ඇති කොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අප තීරණය කළා.

    මේ හැම තීරණයක්ම ගන්නේ සියළු කණ්ඩායම් සමග සාකච්ඡා කොට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයටයි.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයන්හිදී තවත් අලූත් අදහස් මතුවුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමේ ලියැවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කරලායි තියෙන්නෙ.

    ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්‍ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්‍ෂයක එදිනෙදා කාර්යයන්ට මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නෑ. පක්‍ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේත් නෑ. මේ සංධානය බිහි වෙන්නේ පක්‍ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්‍ෂා වන අන්දමටයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කර ගෙනයි.

    තනි පක්‍ෂක් ලෙස ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම දුෂ්කර බව මෑත කාලීන දේශපාලන ප්‍රවණතා ගැන අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකු පිළිගන්නා කරුණක්. ඒ නිසා පසුගිය කාලය පුරාම මම කාලය සහ ශ්‍රමය වැය කළේ ජයග්‍රහණය කරා අපව යොමු කරවිය හැකි පුළුල් දේශපාලන සංධානයක් ගොඩ නැගීම සඳහායි. මේ අරමුණින් මමත්, අනෙක් පක්‍ෂ නායකයිනුත් ඉවත් වෙන්නේ නෑ. අපේ එකම අධිෂ්ඨානය හා උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටුවා සමස්ත ලංකාවම ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමයි.
    ඒ ගමනට අපි සියළු දෙනා එක්වෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දීප්තිමත් හා සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීමට කැපවෙමු.

    මාධ්‍ය ඒකකය,
    අග්‍රාමාත්‍ය කාර්යාලය

    2019. 08. 05

    Latest News