කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළට ගොඩබෑමේදී ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.
යානය කඩා වැටී පෙරළී යාමෙන් එක් දරුවෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ටොරොන්ටෝ පියර්සන් ගුවන්තොටුපළ පැවසුවේ මිනියාපොලිස් සිට පැමිණි ඩෙල්ටා එයාර් ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි.
අනතුරට ලක්වන අවස්ථාවේ ගුවන් යානයේ අසූ දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. ඊට මගීන් 76 ක් සහ කාර්ය මණ්ඩලය හතර දෙනෙක් අයත්.
අනතුරෙන් පසුව දහඅට දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
බරපතල තුවාල ලැබූ රෝගීන් අතර දරුවෙකු, වයස අවුරුදු 60 ක පිරිමි පුද්ගලයකු සහ වයස අවුරුදු 40 ක කාන්තාවක් ඇතුළත් වනවා. එකදු මරණයක් හෝ වාර්තා වන්නේ නැහැ.
සිද්ධියෙන් වූ වහාම ගුවන්තොටුපළ වසා දැමූ නමුත් ටොරොන්ටෝ පියර්සන් වෙත සහ ඉන් පිටතට ගුවන් ගමන් පැය කිහිපයකට පසු නැවත ආරම්භ කර තිබෙනවා.