අවසාන වේදිකාවට ළඟා වූ ලංකාවේ දුම්රිය...(වීඩියෝ)

නොවැ 06, 2022
  • විධිමත් දුම්රිය ‍සේවාවක් ඇති කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කළ යුතු බව මගී ජනතාව සහ දුම්රිය දෙපාර්තමේන්තු වෘත්තීය සමිති පවසනවා. 

    දුම්රිය සේවාව මෑතකාලීනව විශාල ලෙස පරිහානියට පත්ව තිබෙනවා. මගී ජනතාවට ලාභදායීම සහ අවම කාලයකින් ගමන් කළ හැකි පහසුම ප්‍රවාහන මාධ්‍ය ලෙසයි, දුම්රිය සේවාව සැලකෙන්නේ. වරකට විශාල මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීම නිසා මාර්ග තදබදය අවම කිරීමටත් ඉන් ලැබෙන්නේ විශාල පිටිවහලක්. රැකියාවල නිරත වැඩි පිරිසක් තම ප්‍රවාහන මාධ්‍ය ලෙසත් යොදා ගන්නේ ද දුම්රියයි.

    නමුත් මෑතකාලීනව දුම්රිය සේවාව ඉතා අයහපත් මට්ටමකයි පවතින්නේ. නියමිත වේලාවට නොපැමිණීම, කලින් නොදන්වා අවලංගු කිරීම, අඩු වේගයකින් ධාවනය කිරීම, ගමනාන්තයට පෙර දුම්රිය නවතා දැමීම, දුම්රිය පීලි පැනීම මේ දිනවල සුලභව දක්නට ලැබෙනවා. මේ තත්වය වැඩි වශයෙන් දැකගත හැකිවන්නේ මුදුහුබඩ දුම්රිය මාර්ගයේයි.

    මේ නිසා රැකියාවට යන බොහෝ පිරිසකට සිය සේවා ස්ථානය වෙත යාමට සිදුව ඇත්තේ ප්‍රමාදවීමෙන්. රැකියා අවසන් වී නිවෙස්වලට යාමේදී ද මේ තත්වය ඒ ආකාරයටම සිදුවනවා. මෙතෙක් දුම්රිය සේවාව පවත්වාගෙන ගියේ මගීන්ගෙන් සුලු මුදලක් පමණක් ලබාගෙනයි. මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුව විශාල පාඩුවක් ලබන බව පවසමින් දුම්රිය ගාස්තුව වැඩි කරනු ලැබුවා.

    එසේ වුවද තවමත් දුම්රිය සේවාව විශාල පාඩුවක් ලබන බවයි, එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ජනතාවගේ පහසුම පොදු ප්‍රවාහන සේවය මේ ආකාරයට අකාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමෙන් මගීන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. එම නිසා සේවාව විධිමත්ව පවත්වාගෙන යන ලෙසයි ඔවුන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Last modified on සදුදා, 07 නොවැම්බර් 2022 08:11

    Latest News