ඉකුත් යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ එවක ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ වත්මන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස තුනක් තුළ අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.
රිය අනතුරු සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව වැල්ලවත්ත පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කළා.
ගෙවිය යුතු හිඟ බදු මුදල් මේ මස 30 වන දාට පෙර ගෙවීමට අපොහොසත් වුවොත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් පහක බලපත්‍ර අත්හිටුවීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

රුපියල් බිලියන සිය 3.5 ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රන්දෙව් දිනෙන්ද්‍ර ජෝන් නමැත්තා තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිය නීතිඥවරු මාර්ගයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකළ නඩුවේ විත්ති වාචිකය කැඳවන ලෙස ම ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණයට ඉදිරිපත්ව සිටින නීතිඥ මධුර විතානගේ මහතාට අයත් පුද්ගලික බස් රථයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් එහි රියැදුරට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ලක් පවත්වාගෙන යාමට නොහැකි බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 11.07 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි එක් දරු පියෙකුට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
මධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත්තා.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් මස 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම විසින් වරායා අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්ධු වික්‍රම ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන චෝදනා පත්‍රය මීළඟ නඩු දිනයට පෙර සංශෝධනය නොකරන්නේ නම් එම විත්තිකරුවන් නිදහස් කිරීමට සිදුවන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.

Latest News