අසාත් සාලි අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව

දෙසැ 12, 2024
    2021 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධාවක් සිදු කළේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

    ඒ අනුව අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටි එවක මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක අධ්‍යක්‍ෂ නිශාන්ත ද සොයිසා සහ එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල යන අය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අධිකරණ තීන්දුවේ සඳහන් වුණා.

    එම වග උත්තර කරුවන් විසින් අත්තනෝමතික ආකාරයෙන් ක්‍රියාකොට පෙත්සම්කරු අපහසුතාවයට පත්කොට ඔහුට සිදුකළ හානිය වෙනුවෙන් රජය විසින් රුපියල් 75000/- වන්දි මුදලක් අසාත් සාලි මහතාට ගෙවිය යුතු බවටත් තීන්දුවේ සඳහන් වුණා.
    අසාත් සාලි මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් විභාගය කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
    ගාමිණී අමරසේකර, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.
    පෙත්සම්කාර අසාද් සාලි මහතා කියා සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2021 වසරේ මාර්තු මස 16 වනදා කොල්ලපිටිය ප්‍රදේශයේදී තමන්ව අත් අඩංගුවට ගත් බවයි බවයි.
    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තමන් පළකල අදහස් වලින් ජාතින් හා ආගම් අතර පවතින සංහිඳියාවට බාධාවක් සිදු කළේ යැයි කියමින් තමන්ව අත්අඩංගුවට ගත් බව සඳහන් කළ අසාත් සාලි මහතා ඉන් අනතුරුව 2021 වසරේ මාර්තු මස 19 වනදා තමන්ව රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගත් බවත් සිය පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
    ඉන් අනතුරුව මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීම, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර වැනි සිද්ධීන් පිළිබඳව ද විමර්ශන සිදු කළත් ඊට අදාලව තමන් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් අනාවරණය කර ගැනීමට පොලිසිය අපොහොසත් වූ බවත් පෙත්සම්කරු සඳහන් කළා.
    ඉන් අනතුරුව ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළ බවත් එම නඩු විභාගය අවසානයේ දී මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කළ බවත් අසාත් සාලි මහතා ප්‍රකාශ කර තිබෙනවා.
    ඒ අනුව තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔහු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.
    තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ පෙත්සම්කාර අසාද් සාලි මහතා විසින් සිදුකළ ප්‍රකාශවලින් ආගමික සංහිඳියාව උල්ලංඝනය වූ බවට පොලිසිය විසින් එල්ල කරන චෝදනා පිළිගත නොහැකි බවයි.
    මෙම පෙත්සම්කරු රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝගය ලබා ගැනීමේදී වගඋත්තරකරුවන් ද්වේශ සහගත ආකාරයෙන් ක්‍රියා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනයන්ට පටහැනි ලෙස එය ලබාගෙන තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළා.
    එසේම පෙත්සම්කරු අත් අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගය ලබාගත් ආකාරය සාධාරණීකරණය කිරීමට වග උත්තරකරුවන් අධිකරණය හමුවේ අපොහොසත් වූ බවත් තීන්දුවේ සඳහන් වුණා.
    පෙත්සම්කාර අසාද් සාලි මහතා වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා සමග ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියා.
    වග උත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා පෙනී සිටියා.

    Latest News