කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද කොළඹ මහාධිකරණය හමුවේ දැනුම්දෙනු ලැබුවා.

ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම නඩුව කැඳවූ අවස්ථාවේ අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ හේස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.
2021 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධාවක් සිදු කළේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරීම සඳහා එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ නිර්දේශයක් ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගත් තීරණය තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් රුපියල් ලක්ෂ 20ක නඩු ගාස්තුකට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඉකුත් රජය සමයේ මත්පැන් අලෙවි බලපත්ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්රියාත්මක කිරීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගේ කටයුතු අත්හිටුවීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම මේ මස 18 වනදා යළි කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය මගින් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14000 ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගත්තා.
2019 වසරේ කොළඹ, මට්ටක්කුලිය ආශ්‍රිත මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 425 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ඉරාන ජාතිකයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.
රිය අනතුරක් සිදුකොට පුද්ගලයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාගේ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
2012 වසරේ කටුවන ප්රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී.අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය අද තහවුරු කළා.

Latest News