මගී ගුවන් යානයක් දකුණු කොරියාවේ “මුආන්” ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී අනතුරට ලක්වීමෙන්, 177 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුද්ගලයින් 181 දෙනෙකු රැගත් “ජේජු එයාර්” ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්වුණා.
තායිලන්තයේ බැංකොක් සිට පැමිණි “ජේජු එයාර්” ගුවන් සේවයට අයත් බෝයිං 737 – 800 දරණ මගී ගුවන් යානය, අද පෙරවරුවේ දකුණු කොරියාවේ “මුආන්” ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේ අනතුරට ලක්වුණා.
මගීන් 175 දෙනෙකු රැගත් යානයේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු සිටි බව දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගුවන් යානය බැංකොක් නුවර සිට දකුණු කොරියාවට ආපසු පැමිණි යානයක් බව සඳහන්.
“ජේජු එයාර්” ගුවන් යනය “මුආන්” ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩබස්වන අවස්ථාවේදී ධාවන පථයෙන් ලිස්සා ගොස් ගුවන් තොටුපොළෙහි තාප්පයක ගැටී ගිනිගෙන තිබෙනවා.
දකුණු කොරියානු ගිනි නිවීමේ ඒජන්සිය කියා සිටියේ, පුද්ගලයින් දෙදෙනෙකු බේරාගත් බවයි.
ඔවුන් දෙදෙනා ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බව එම ඒජන්සිය පසුව තහවුරු කළා.
ගුවන් යානයේ හටගත් ගින්න මැඩපවත්වා ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා.
ගුවන් යානයේ ගොඩබෑමේ පද්ධතියෙහි යම් කාර්මික දෝෂයක් හටගන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් තහවුරු වී නොමැති අතර යානයෙහි කරුල්ලන් ගැටීම හෝ අයහපත් කාලගුණය හේතුවී ඇත්ද යන්න පිළිබඳව ද පරීක්ෂණ කෙරෙනවා.
යානයේ සිටි අයගෙන් දෙදෙනෙකු, තායිලන්ත ජාතිකයින් වන අතර සෙසු සියලු දෙනා දකුණු කොරියානුවන් බවට තහවුරු කර තිබෙනවා.
දකුණු කොරියානු වැඩබලන ජනාධිපති, චෝයි සැං මොක් මියගිය සහ විපතට පත් සියලු දෙනාට සිය ශෝකය පළ කළා.
අනතුර පිළිබඳ විමර්ශන සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන ලෙසයි වැඩ බලන ජනාධිපතිවරයා බලධාරීන්ට නියෝග කර ඇත්තේ.
තායිලන්ත අග්‍රාමාත්‍ය පේටෝතාන් ෂිනවත් ද අනතුරින් මියගිය සියලු දෙනාගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.
“ජේජු එයාර්” ගුවන් සේවය, ආරම්භ කෙරුණේ 2005 වසරේදි. එය තායිලන්තයේ අඩු වියදම් ගුවන් සේවය ලෙසයි සැලකෙන්නේ.
බෝයිං 737 – 800 දරණ සිය මගී ගුවන් යානය මෙලෙස අනතුරට ලක්වීම සම්බන්ධයෙන් “ජේජු එයාර්” ගුවන් සමාගම සමාව අයැද සිට ඇති බවද සඳහන්.