ජීවිත 3ක් බිලි වූ මාදම්පේ ඛේදවාචකය

මාර් 10, 2025

    මාදම්පේ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක්, බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙක් මිය ගොස් තිබෙනවා.

    මිය ගිය පිරිස අතර, අවුරුද්දයි මාස 3 ක් වයස දරුවෙකු ද සිටින බවයි, වාර්තා වන්නේ. බස් රථයේ සහ ත්‍රීරෝද රථයේ රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.

    තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික චතාරික මංගල්‍යයට සහභාගී වී, ආපසු නිවෙස්වලට යමින් සිටි පිරිසක් රැගත් ත්‍රීරෝද රථයක්, තවත් වාහන දෙකක ගැටීමෙනුයි, අනතුර සිදුව ඇත්තේ.

    හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ආසන්නයේදී අනතුර සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රී 7.00 ට පමණ. මිනුවන්ගොඩ බලා ගමන් කළ ත්‍රීරෝද රථය, මාලු පැටවූ ලොරි රථයක ගැටීමෙන් අනතුරුව, කොළඹ සිට හලාවත බලා ගමන් කළ පෞද්ගලික බස් රථයක ද ගැටී තිබෙනවා.

    ත්‍රීරෝද රථයේ දරුවන් 5 දෙනෙකු ඇතුළු නව දෙනෙකු ගමන් කර ඇති බවයි, වාර්තා වන්නේ.

    එහි රියදුරුට නින්ද යාම අනතුරට හේතුව බව, පොලිසිය පවසනවා. මිය ගිය පිරිස අතර මව සහ ඇගේ වයස අවුරුද්දයි මාස තුනක් වන දියණිය ද  වනවා.                               

    අනෙක් කාන්තාව ත්‍රීරෝද රථයේ රියදුරාගේ ඥාති සහෝදරියක් වන අතර, ඇය රාගම ප්‍රදේශයේ පදිංචිකාරණියක්.

    තලවිල දේවස්ථානයේ මංගල්‍ය හේතුවෙන්, අධික වේගයෙන් ධාවනය කරන වාහනවල රියදුරන්ට නීත්‍යානුකූල පියවර ගැනීමට පසුගිය 7 වැනිදා සිට පොලිස් නිලධාරීන් මාර්ගයේ රාජකාරි සඳහා යොදා තිබෙනවා.

    අනතුර සිදුවන ස්ථානයට මීටර 200 ක් දුරින් පොලිස් නිලධාරීන් රැඳී සිටියදීයි, අනතුර සිදුව ඇත්තේ. ත්‍රීරෝද රථයේ රියදුරා, ගංජා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

    බස් රථයේ රියදුරා ද ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවයි, පොලිසිය සඳහන් කළේ. මාදම්පේ පොලිසියේ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    Last modified on සදුදා, 10 මාර්තු 2025 11:01

    Latest News