2011 වසරේ කුරුණෑගල දී ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පැවැති "ඉසුරු සවිය" නමැති උත්සවයේදී ප්‍රවාහන පාසුකම් සැපයීමේ කටයුතුවලට අදාලව රුපියල් ලක්ෂයක මුදලක් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලපුලී ලංකාපුර මෙනවිය නියෝග කළේ.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ 2011 වසරේ කුරුණෑගල ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පැවැති "ඉසුරු සවිය" නමැති උත්සවයේදී රුපියල් මිලියන 183ක මුදලක් සාපරාධි විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු සමුපකාර කොමසාරිස්වරයා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවයි.
එම විමර්ශනවලට අදාළව නීතිපති වරයාගෙන් උපදෙස් ලබාගත් අවස්ථාවේදී එම සිද්ධිය තුළ අල්ලස් පනත යටතේ වරදක් සිදු වී ඇති හෙයින් එම විමර්ශනය අල්ලස් කොමිසම වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළා.
එම විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධයෙන්ද කරුණක් අනාවරණය වූ බව මෙහිදී පොලිසිය පැවසුවා.
එම උත්සවය සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් සමූපකාර මුදලින් මෙම සැකකරු විසින් ලබාගෙන ඒ සම්බන්ධයෙන් සාපාරාධි විශ්වාසය කඩ කළ බව විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවත් ඔවුන් සඳහන් කළා.
මෙම මුදල ප්‍රවාහන කටයුතු සැපයීම සඳහා ගෙවන ලද්දේ කාටදැයි ප්‍රකාශ කිරීමට සැකකරු මුලින්ම අපොහොසත් වූ අතර අද දින පොලිසියට ලබා දුන් කට උත්තරයේ මෙම මුදල හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂකයකුට ලබාදුන් බව සඳහන් කර ඇතැයි ද පොලිසිය පැවසුවා.
ඒ අනුව මෙම කරුණට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන හෙයින් සැකකරු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ මෙම සැකකරු අමාත්‍යාංශ කීපයකම කටයුතු කර ඇති කීර්තිමත් ලේකම්වරයෙකු බවත් මෙම අවස්ථාවේදී ඔහු කටයුතු කර තිබෙන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් මත බවයි.
ඔහු කිසිදු ආකාරයක සාපරාදී විශ්වාසය කඩ කිරීමක් සිදු කර නොමැති බවත් එම නීතිඥවරු විසින් සඳහන් කළ අතර ඔහු ඇපමත මුදා හරින ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් කරුණු අනාවරණය නොවන හෙයින් ඔහු ඇපමත මුදා හැරීමට තීන්දු කරන බව සඳහන් කළා.
ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව නැවත මැයි මස 28 වනදා කැඳවීමටද නියෝග කළා.