වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඔක් 17, 2024

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදු වීම් රැසකට මුල් වූ වප් පුර පසලොස්වක පොහොය අදයි.

    වප් පොහොය සමග කඨින චීවර පූජා සමය ද ආරම්භ වනවා.

    බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව්ලොවට වැඩම කර, මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා‍ කොට දඹදිව සංකස්සපුරයට වැඩම කළේ අද වැනි දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.

    ඉන්දියාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් මෙරටට වැඩම කරවීම වප් පොහොය හා බැදුණු තවත් සුවිශේෂී සිදුවීමක්.

    ශ්‍රී ලංකාව දහම් දිවයිනක් බවට පත් කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ ද අද වැනි වප් පො‍හෝ දිනකයි.

    අරිට්ඨ මහරහතන් වහන්සේ ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම ද වප් පොහෝ දිනකදී සිදු කෙරුණා. වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ වස් පවාරනය කරන්නේ ද වප් පොහොය දිනයේ දී.

    අග්‍රාමාත්‍ය කාර්යාලය සංවිධාන කළ වප් පුරපසළොස්වක පොහෝ දින ධර්ම දේශනාව කෝට්ටේ රජමහා විහාරස්ථානයේ දී අද පැවැත්වෙනවා. ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහභාගීත්වයෙන්.

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව වප් පොහෝ දින සද්ධර්ම වර්ෂා ආගමික වැඩසටහන අද දවස පුරා සජීව ලෙස විකාශය කරන්නේ, මාතර හිත්තැටියේ රජමහා විහාරස්ථානයේ සිටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 17 ඔක්තෝබර් 2024 10:59

    Latest News