පහළ මට්ටමේ ඉඳලා ළමයින්ට පරිගණක ක්‍රියාව පිළිබඳ අවබෝධයක් ලබාදෙන්නට ඕනේ; ජනපති

මාර් 05, 2020

    කාලීන වෙනස්වීම්වලට ගැලපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන අමාත්‍යවරයා හෝ පවතින ආණ්ඩුව මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් විය යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ.

    එතුමා මේ බව කියා සිටියේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ජාවකදී. අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේදී ගනු ලබන ක්‍රියාමාර්ග ගැන කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව හා ජනතාව පූර්ණ වශයෙන් දැනුවත් කළ යුතුයි. අධ්‍යාපන ක්‍ෂේත්‍ර යේ ප්‍රවීණයින්ගේ උපදෙස් හා අන්තර්ජාතික ක්‍රම සැලකිල්ලට ගෙන එය සකස් කළ යුතු බවයි ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සඳහන් කළේ.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා....

    “පහළ මට්ටමේ ඉඳලා ළමයින්ට පරිගණක ක්‍රියාව පිළිබඳ අවබෝධයක් ලබාදෙන්නට ඕනේ. ඒක ලබාදුන්නේ නැතිවුණොත් අපි විශාල වශයෙන් ලෝකයත් එක්ක පිටිපස්සට යනවා. ගුරුවරයාවත් යාවත්කාලීන කරන්න අමාරුයිනේ කොම්පියුටර්වල“ යැයි ජනාධිපතිතුමා කියා සිටී.

    දැනට ඇති ගුරු විද්‍යා පීඨ 19, විශ්වවිද්‍යාල පීඨ බවට පත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අධ්‍යාපන අමාත්‍යාංශය පරිගණක තාක්‍ෂණය ඇතුලු සියලු ක්‍ෂේත්‍රවල කරනු ලබන වෙනස්කම්වල ප්‍රතිඵල වසර 3ක් 4ක් ඇතුලත පැහැදිලිව දැකගත හැකි විය යුතු බවයි එතුමා අවධාරණය කළේ. අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News