නි.පොලිස්පති නාලක සිල්වාගේ පරීක්‍ෂණ අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

නොවැ 19, 2024
    ඉකුත් යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත් අඩංගුවට ගැනීමෙන් පසුව අනිවාර්ය නිවාඩු යවනු ලැබූ එවක ත්‍රස්ත මර්දන කොට්ඨාශයේ අධ්‍යක්ෂ සහ වත්මන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කටයුතු මාස තුනක් තුළ අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.

    නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා සහ ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.

    පෙත්සම්කාර නාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව වැඩ තහනමකට ලක් කොට ඉන් පසුව අනිවාර්ය අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කෙරුණු බවත් කියා සිටියා.
    ඔහුට එරෙහිව තවදුරටත් පරීක්ෂණ කටයුතු කීපයක් සිදුවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ හේතුවෙන් ඔහුට උසස්වීම් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බවත් සඳහන් කළා.
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සඳහන් කළේ පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් සිදුකරන සියලු පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතු බවයි.
    ඒ අනුව පෙත්සම්කරුට අදාල සියලු පරීක්ෂණ මාස තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජාතික පොලිස් කොමිසමට නියෝග කළා.
    ඉන් අනතුරුව අදාල පෙත්සම පෙබරවාරි මස 28 වන දා කැඳවීමටද නියෝග කෙරුණා.

    Latest News