මෙවර සා.පෙළ සමත් වැඩිම පිරිස දකුණෙන් (වීඩියෝ)

අප්‍රේ 29, 2020
  • අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මාර්ගගත ක්‍රමයට පරීක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සපයා ඇති පහසුකමට අමතරව, ප්‍රතිඵල සහතික කිරීමේ ලේඛන නිකුත් කිරීම අන්තර්ජාලය ඔස්සේ ආරම්භ කෙරිණ.

    2001 වසරේ සිට මේ දක්වා පවත්වන ලද සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල සනාථ කිරීමේ ලේඛන නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ යටතේ, දේශීය විශ්වවිද්‍යාල, විදේශීය ආයතන, පෞද්ගලික ආයතන විභාග අයදුම්කරුවන් ඇතුළු අදාළ පාර්ශවයන්ට සත්‍යාපනය කරන ලද ප්‍රතිඵල ලේඛන මාර්ගගත ආකාරයට නිකුත් කෙරේ.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට ප්‍ර වේශ වී අයදුම්කරුවන්ට තම ප්‍රතිඵල සනාථ කරගැනීමේ සේවාව ලබා ගැනීමට අවස්ථාව තිබේ. මෙය සිදු කෙරුණේ, ප්‍රථම වතාවටයි. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

    මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් දිවයිනේ උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ ඉහළම ප්‍රතිශතය වාර්තා වන්නේ දකුණු පළාතෙන් බව, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා පවසයි.

    සාමාන්‍ය පෙළ විභාගයෙන්, මාතර මහින්ද රාජපක්‍ෂ විදුහලේ සිසුන් සියයට සියයක ප්‍රතිඵල ලබාගෙන තිබේ. එම විද්‍යාලයෙන් සිසුන් 271 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර, ප්‍රතිඵල සටහනේ එකදු අසමත් වීමක් හෝ වාර්තා නොවීම විශේෂත්වයක්. 2019 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට විද්‍යාලයේ සිසුන් 277 දෙනෙකු පෙනී සිටි අතර, එම වසරේදී ද සියයට-සියයක ප්‍රතිඵල පෙන්වීමට විද්‍යාලය සමත්ව තිබේ.

    මෙවර ප්‍රතිඵල අනුව ඒ-9 සාමාර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 52ක්. එය, සමස්ත ප්‍රතිඵලවලින් සියයට 19.19ක්. මේ අතර, ඒ 8 සාමාර්ථ 50ක්, ඒ 7 සාමාර්ථ 44ක් ලබා ගැනීමට ද එම විද්‍යාලයේ සිසුන් සමත්ව සිටී. විභාගයට පෙනී සිටි 271ක් වන මුළු ශිෂ්‍ය පිරිසෙන් 234 දෙනෙකු ගණිත විෂයට ඒ සාමාර්ථ හිමිකර ගෙන තිබේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ සමත් වූ සිසුන් සංඛ්‍යාවද සියයට සියයක්.

    මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය බිහි වන්නේ 2013 වසරේ පෙබරවාරි මස 17 වැනිදා. ඒ, එවක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව. අක්කර 24ක භූමි භාගයකින් යුත් මෙම විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 2865ක්.

    2016 වසරේදී ඉංජිනේරු තාක්‍ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ද විදුහලේ සිසුවියක් සමත්වූවාය. විෂය සමගාමීව මෙන්ම, බාහිර ක්‍රියාකාරකම්වලට ද විද්‍යාලයේ සිසුන් දක්වනේ ඉහළ දක්‍ෂතාවක්.

    Last modified on බදාදා, 29 අප්‍රේල් 2020 20:53

    Latest News