කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනාගනී

ඔක් 16, 2020

    තවත් කොවිඩ් ආසාදිතයින් 61 දෙනෙක් හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිත පොකුර ආසාදිතයින් 1850ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අලුතින් වාර්තාවන ආසාදිතයින්ගෙන් තිදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ආශ්‍රිතයින් හෝ කාර්ය මණ්ඩල සේවකයින් වේ.

    සෙසු 58 දෙනා ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 

    මෙම සේවකය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

     

     

    කොළඹ මහ නගර සභාවේ සියලු මන්ත්‍රීවරුන් සඳහා PCR පරීක්ෂණ මේ වනවිට සිදුකිරීමට පියවර ගනිමින් තිබේ.

    නගර සභාවේ නිලධාරිනියකට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පැවසීය.

    නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරණ සහකාරවරියකට වෛරසය ආසාදනයවී ඇති බවට ඊයේ (15) අනාවරණය වී තිබුණි.

    ඒ අනුව පෙරේදා (14) දිනයේ කොළඹ මහ නගර සභාවේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගී වූ නගරාධිපතිනිය, නාගරික කොමසාරිස්වරිය සහ සෙසු සියලු නාගරික මන්ත්‍රීවරුන් සඳහා PCR පරීක්ෂණ සිදුකිරීමට තීරණය කළ බව රුවන් විජේමුණි මහතා පැවසීය.

    මේ අතර, මිනුවන්ගොඩ ඇගලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රයෙන් නිර්මාණය වූ කොවිඩ් පොකුරේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව නිසි පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම ඉතා වැදගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හේමන්ත හේරත් මහතා පවසයි.

     

     

    නිරෝධායන ඇදිරි නීතිය බලාත්මක ප්‍රදේශ වලට හෙට (17) සහ අනිද්දා (19) වෙළඳ සැල් හා ඖෂධ සැල් විවෘතව තැබීමට අවසර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා.

    නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් පොලිස් වසම් 19ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

    එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයන් 25 දෙනෙකු පමණ ඇදිරිනීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, මේ වනවිට නිරෝධායන ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුව සංඛ්‍යාව 167ක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවා.

     

     

    එමෙන්ම වාහන 40ක් පොලිස් භාරයට ගෙන ඇති අතර ත්‍රී රෝද රථ, යතුරුපැදි සහ වෙනත් වාහන ඒ අතර වෙයි.

    නිරෝධායන ඇදිරිනීතියට ගරුකරමින් කටයුතු කරන ලෙස මෙම අවස්ථාවේදී විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වල අද උදෑසන 08 සිට රාත්‍රී 10 දක්වා පැය 14ක කාලයක් සඳහා ඖෂධ වෙළදසැල් සහ ආහාර සපයන වෙළදසැල් විවෘත කිරීමට අවසර ලබාදී ඇති සඳහන් කරනවා.

     

     

    කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, පැමිණි පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි.

    අද දින ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 397 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.

    එමෙන්ම අද දිනය වනවිට පුද්ගලයින් 53,011 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

    ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

    මේ අතර, ඊයේ දිනය වනවිට PCR පරීක්ෂණ 365,859 ක් සිදුකර තිබේ.

    Latest News