(UPDATE) අද කොරෝනා රෝගීන් 47 යි

ඔක් 19, 2020

    තවත් නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට වාර්තා වී ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව, මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2,122ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද දිනයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 4 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වේ.

    සෙසු 43 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආශ්‍රිතයින් වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

     

     

    කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් අද (19) දින ඉදිරිපත් කරනු ලබන තොරතුරු පහත සඳහන් වන අතර, එම තොරතුරු මාධ්‍ය නිවේදනයක් ලෙස මහජනතාව වෙත නිකුත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් හැට තුන්දෙනෙකු (63) හඳුනාගෙන ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි.

    එම පුද්ගලයින් හැට තුන්දෙනා (63) අතරින් විදේශයන්හි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් ගණන දෙදෙනෙකු (02) වන අතර, ඔවුන් අතරින් ජපානයේ සිට මෙරටට පැමිණ හොටෙල් ඊඩ්න් ගාර්ඩ්න් නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් හැට එක් දෙනා (61) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ළගින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

     

     

    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (19) දින උදෑසන වනවිට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 2,077 දෙනෙකු වේ.

    ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයින් 1,036 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

     

     

    අද (19) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් දෙසිය පස්දෙනෙකු (205) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්වයාමට නියමිතව ඇත.

    ඒ අනුව, රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් හත්දෙනෙකු (37) ද, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හතලිස් දෙනෙකු (40) ද, මන්දාරා රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් පනස් දෙනෙකු (50) ද, දික්වැල්ල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් හැත්තෑ අටදෙනෙකු (78) වශයෙන් වේ.

    එසේම, අද (19) දිනය වනවිට පුද්ගලයින් 54,328 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    එසේම, අද (19) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 83 ක් තුළ පුද්ගලයින් 9,287 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

    ඊයේ (18) දිනය තුළදී PCR පරික්‍ෂණ 9,838 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 383,961 ප්‍රමාණයක් සිදුකර ඇත.

    අද (19) දින උදෑසන 6.00 වනවිට පුද්ගලයින් අටදෙනෙකු (08) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් අටදෙනා (08) අතරින් පුද්ගලයින් පස්දෙනෙකු (05) විදේශිය රට වලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් තිදෙනා (03) මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් ලෙස වාර්ථා වේ.

    මතුගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම් කෙරුණු ඕවිටිගල, බඳුගම සහ බදුගම නව ජනපදය යන ප‍්‍රදේශ වලට නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ මූූලාශ‍්‍රය සෞඛ්‍ය අංශ මගින් හෙළි කරගෙන තිබෙනවා.

    කළුතර දිස්ති‍්‍රක් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ පැවසුවේ පසුගිය දිනවල අනුරාධපුර ප‍්‍රදේශයේ වන්දනා ගමනකට එක්වූ කණ්ඩායමකට එම වෛරසය ආසාදනයවී ඇති බවයි.

    හුදෙකලා කෙරුණු ගම්මානවල පදිංචි මෙවර උසස්පෙල විභාගයට පෙනී සිටින සිසුන්ට විභාගයට පෙනී සිටීමට බාධාවක් නොමැති බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව වාර්තා වෙයි.

    මෙම පුද්ගලයා කුරුණෑගල මල්ලවපිටිය සහ උයන්දන අතර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

    පසුගියදා කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිටින ව්‍යාපාරිකයෙකු සමඟ මෙම පුද්ගලයා කතරගම සංචාරයක ගොස් ඇති බවද අනාවරණයවී තිබේ.

    ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනයවී ඇත්තේ, බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ආසාදිතයෙකු සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙනි.

    එම ව්‍යාපාරිකයා සමඟ සමීපව ඇසුරු කිරීම හේතුවෙන් උයන්දන කරවල ව්‍යාපාරිකයාට වෛරසය ආසාදනයවී ඇති බවට සෞඛ්‍ය බලධාරීන් සැක කරයි.

     

     

    කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් අද දින සිට තම සේවා ස්ථාන වෙත පැමිණිය යුත්තේ තම පෞද්ගලික රථවාහන වලින් නොව කර්මාන්තශාලා විසින් සපයන ප‍්‍රවාහන මාධ්‍යයෙන් පමණක් බව කටුනායක පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතා පවසයි.

    කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් තම සේවා හැඳුනුම්පත ඇදිරි නීති බලපත‍්‍රයක් සේ යොදා ගෙන, සේවයට පැමිණෙන මුවාවෙන් වෙනත් ප‍්‍රදේශ වෙත ගමන් කර සිටියදී පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණ.

    කොරෝනා වෛරසය රට පුරා පැතිර යාමේ අවධානමක් මතුවී ඇති නිසා උසස් පොලිස් නිලධාරීන් මෙම තීරණය ගෙන ඇතැයි, කටුනායක පොලීසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

    ඒ අනුව අද දින සේවකයින්හට කර්මාන්තශාලාවට ඒමට ප‍්‍රවාහන පහසුකම් සළසා දෙන ලෙස කම්හල් හිමියන්ගෙන් පොලීසිය විසින් දැනුවත් කර ඇත.

    එසේම කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ආසන්නයේ පිහිටි නේවාසිකාගාර වල නැවතී සිටින සේවකයින් අවශ්‍යනම් පා ගමනින් ද සේවය සඳහා කර්මාන්තශාලා වෙත පැමිණිය හැකි බව ද කම්හල් හිමියන් ද එම සේවකයින් වෙත දැනුම් දී තිබේ.

     

     

    ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

    මෙම පොලිස් සැරයන්වරයා පසුගිය දින කිහිපයේදී සේවයේ නිරතව සිටි බවත් මේ හේතුවෙන් එම පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 16 දෙනෙකු නිරෝධායනයට යොමු කිරිමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටී.

    පැය කිහිපයකට ආමර්වීදිය පොලිසිය වසා තබා සම්පුර්ණයෙන් විෂබීජහරණයට ලක්කිරීමෙන් පසු වෙනත් පොලිස් ස්ථාන වලින් නිලධාරීන් අනියුක්ත කොට ආමර් වීදිය පොලිස් මුරපොළේ සේවා කටයුතු අද දින සවස 6.00 ට පමණ යළි ආරම්භ කළ බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.

     

     

    කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාමත් සමග ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ රෝහල් යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, එම රෝහල්වල පහසුකම් සකස් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

    දැනට රෝහල් - 19 ක කොරෝනා ආසාදිතයින් ප්‍රතිකාර ලබන බව ද ඔහු පැවසුවේය.

    වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, වාර්තා වන සෑම කොරෝනා ආසාදිතයෙකු සඳහාම ප්‍රතිකාර ලබාදීමට රෝහල් පහසුකම් රජය විසින් සකස් කරන බවයි.

    ඒ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවට දැනුම් දෙයි.

     

    පිටකොටුව ප්‍රදේශයේ පිහිටි R.G.Brothers නම් ආයතනයක අහඹු ලෙස කරන ලද පී.සීආර්. පරීක්ෂණ වලින් එම ආයතනයේ සේවකයින් හතරදෙනෙකුට කොවිඩ් - 19 ආසාදිත බව තහවුරුවී ඇති බව වාර්තා වේ.

    මේ හේතුවෙන් එම ආයතනයේ සේවකයන් 20දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

    මෙම ආයතනය දැනට වසා දමා ඇති බව ද වාර්තා වේ.

     

    මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

    ඒ, එම වෙළෙඳ සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි කිරීමේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ හට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවීම ඊට හේතුව බවයි, මීගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත ප්‍රකාශ කර සිටියේ.

    මෙම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමත් සමඟ ඔවුන්ගේ වෙළෙදසැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙදසැල් වසා දැමීමට පියවර ගත් බවත්, හෙට දිනයේදී එහි සිටි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කිරිමට සැලසුම් කර තිබෙන බවයි, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සඳහන් කළේ.

    මෙම ව්‍යාපාරික ස්ථානයෙන් රෙදි මිලදී ගනු ලැබූ පාරිභෝගිකයින් කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බව පැවසු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිවරයා ඔවුන්වද PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය බව කියා සිටියා.

    මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ද පසුගිය ඔක්තෝම්බර් මස පළමු සතියේදී පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බවයි, සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

     

    ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරුවීමෙන් පසු ඔහු අද (19) දිවුලපිටිය රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසනවා.

    මෙකී පුද්ගලයා කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙක් වන අතර, ඔහු දිනපතා අම්බලන්ගොඩ සිට කොළඹ බලා සාගරිකා දුම්රියෙන් ගමන් කරන අයෙකු බවයි, ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසන්නේ.

    මෙම පුද්ගලයා ඉකුත් 16 වැනි දින රාත්‍රීයේ දී නිවසට පැමිණ ඇති අතර, පසුව ඊයේ (18) උදැසන PCR පරික්ෂණය සඳහා ජෛව සාම්පල් ඇල්පිටිය රෝහලට ලබාදී ඇති බවයි ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කළේ.

    අද දින එම පි. සි.ආර් පරික්ෂණ වාර්තාව ලැබුණු බවත්, ඒ අනුව මොහුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව ද වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි සඳහන් කර ඇත.

    ඒ අනුව මෙකී සේවකයාගේ බිරිද, දරුවන් දෙදෙනා හා මොවුන් පදිංචි යාබද නිවසේ පදිංචි මව සහ පියා නිරෝධායනයට ලක්කර ඇති බව ද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on සදුදා, 19 ඔක්තෝබර් 2020 16:40

    Latest News