ගෝඨාභයගේ යාපනයේ නඩුව සම්බන්ධ විරෝධතා දෙසැ 02

ඔක් 31, 2019

    ගෝඨාභයගේ යාපනයේ නඩුවට එරෙහිව ලැබුණු අභියාචනාධිකරණ නියෝගය ඉවත් කිරීමට ගොනු කෙරුණු පෙත්සමට විරෝධතා දෙසැ. 02 ඉදිරිපත් කරන ලෙස නියෝග කරයි.

    2011 දී ලලිත් හා කුගන් පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය ඉවත් කරන ලෙස ගොනු කෙරුණු පෙත්සමට අදාළ විරෝධතා දෙසැම්බර් මස 02 වනදා ඉදිරිපත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට නියම කරයි.

    එම ඉල්ලීම අද අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය කෙරිණ.

    එම මෝසම අද(31) කැඳවූ අවස්ථාවේදී අතුරුදන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ මහතා කරුණු දක්වමින් කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා සාක්ෂි දීම සඳහා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මස 24 වනදා තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

    එම තහනම් නියෝගය නිකුත් කළ ආකාරය වැරදි සහගත බව පෙන්වා දුන් අතුරුදන්වූ පාර්ශවයේ නීතිඥවරයා එම තහනම් නියෝගය ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

    එම අවස්ථාවේදී විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය විවෘත අධිකරණය සඳහන් කළේ මෙම තහනම් නියෝගය තමා නිකුත් කරනු ලැබුවේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු ද සලකා බැලීමෙන් අනතුරුව බවත් මෙය නිවැරදි නියෝගයක් ලෙස තමා විශ්වාස කරන බවත් ප්‍රකාශ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් පෙත්සම්කරු අතෘප්තියට පත් වන්නේ නම් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුට හැකියාව තිබෙන බවද විනිසුරුවරිය විවෘත අධිකරණයේ සඳහන් කළේය.

    එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙය කිසිදු පදනමක් නොමැති ඉල්ලීමක් බව සඳහන් කර සිටියේය.

    අභියාචනාධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කළේ ඒක පාක්ෂිකව නොවන බවත් නීතිපතිවරයාගෙන් ද කරුණු විමසීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙය දේශපාලන අරමුණක් ඉටු කර ගැනීමේ අවශ්‍යතාවක් මත ගොනු කර තිබෙන බවත් අධිකරණය දේශපාලන ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට හැකියාවක් නොමැති බවත් අවධාරණය කර සිටියේය.

    මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ පෙත්සම්කරු විසින් ඉදිරිපත් කරන මෙම ඉල්ලීම පිළිබඳව විරෝධතා ඉදිරිපත් කිරීමට තමන්ට කල් ලබා දෙන ලෙසයි.

    ඒ අනුව මෙම ඉල්ලීමට අදාළ විරෝධතා තිබේනම් ඒවා දෙසැම්බර් මස 02 වන දා ඉදිරිපත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට නියම කළ අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය මෙම පෙත්සම නැවත දෙසැම්බර් මස 03 වනදා කැඳවීමට ද නියම කළේය.

    2011 වසරේ ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් යන මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ හබයාස් කෝපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වන දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිතාසි නිකුත් කර තිබිණි.

    එහෙත් තම ජීවිතයට තර්ජන තිබෙන හෙයින් ආරක්ෂක හේතුන් මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දීමට තමන්ට හැකියාවක් නොමැති බවත් ඕනෑම අධිකරණයක තමන්ට සාක්ෂි දීමට සූදානම් බවත් සඳහන් කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලූ අභියාචනාධිකරණය යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි දීම සඳහා පෙනී සිටින ලෙස දන්වමින් නිකුත් කළ නියෝගය තාවකාලිකව අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

    එම තහනම නියෝගයට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Latest News