හිටපු ජනාධිපති අද (22) පළමුවරට පාස්කු කොමිසමට (වීඩියෝ)

සැප් 22, 2020
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.

    ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශය කරන බවට හිටපු ජනාධිපතිවරයාගේ නමින් නිකුත් කර තිබු මාධ්‍ය නිවේදනයකට අදාළව කරුණු දක්වන ලෙස කොමිසම කළ දැනුම් දීමකට අනුවයි.

    මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පළමුවරට සාක්ෂි ලබාදෙනු ලැබුවා.

    පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අසත්‍ය ප්‍රකාශ කරන බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා පසුගිය 20 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා.

    කෙසේ වෙතත් එම නිවේදනය තුළින් අධිකරණයකට සමාන ජනාධිපති කොමිසමේ අධිකාරිමය බලයට අපහාසයක් සිදුවන බවත්, එම ප්‍රකාශය ඔස්සේ ඊයේ දිනය වන විටත් සාක්ෂි ලබාදෙමින් සිටි තම සේවාදායකයා වන හේමසිරි ප්‍රනාන්දු මහතා තැති ගැන්මකට ලක්ව ඇති බවටත් නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා ඊයේ කොමිසමට පැමිණිලි කළා.

    ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති  කොමිසම හමුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු දක්වන ලෙස ජනාධිපති කොමිසම ඊයේ දින හිටපු ජනාධිපතිවරයාට නියෝග කළ අතර  ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ජනාධිපති කොමිසමට පැමිණියා.

    එහිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති මෙම නිවේදනයට හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා විරෝධය දැක්වීම භාෂනයේ නිදහසට එරෙහිවීමක් බවයි.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ කවරෙකු හෝ අසත්‍ය ප්‍රකාශ සිදුකරනේ නම් එයට එරෙහිව කතා කිරීමට ඕනෑම තැනැත්තෙකුට අයිතියක් ඇති බවයි.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි දැක්වීම සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවිය නිකුත් කළ නිවේදනය සහ තම සේවාදායකයාගේ පාර්ශවයෙන් නිකුත් කර ඇති නිවේදනය සමාන බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ එම නිවේදනය හරහා කොමිසම අපහාස කිරීම අරමුණු කර නොගත් බවයි.

    එහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබද පෙර දින එදින දිව්‍ය පුජාව නොපැවැත්වුවේ යැයි පැවසීම තුළින් කතෝලික ජනතාව නොමග යාම වැලැක්වීම සදහා කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කළ බවයි.

    එසේම එම නිවේදනය තුළින් ප්‍රතික්ෂේප කර ඇත්තේ කොමිසම හමුවේ සාක්ෂිදීම අවසන් කර තිබු හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය වන බැවින් එය කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටින හේමසිරි ප්‍රනාන්දු මහතාගේ සාක්ෂි විමසීම විවේචනයට ලක් කිරීමට සමාන නොවන බවද නීතිඥවරයා ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

    එහිදි නැගි සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කියා සිටියේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් කතෝලික ජනතාව නොමග යාමක් වුනා සේම, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අසත්‍ය ප්‍රකාශ තුළින් දේශපාලඥයෙක් වු තම සේවාදායකයාගේ පාක්ෂිකයින්ද නොමග යා හැකි බැවින් මෙම ප්‍රකාශ දෙකම සමාන බවයි.

    එහිදි ජනාධිපති කොමිසමට සහය දැක්වීම සදහා කරුණු දක්වමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ මෙම ජනාධිපති  කොමිසම මේවන විටත් සක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් කුමන පාර්ශවයක් වුවද කොමිසමේ ක්‍රියාකලාපය පිළිබද ප්‍රකාශ නිකුත් කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවයි.

    කෙසේ වෙතත් හිටපු ජානාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නිකුත් කළ මෙම නිවේදනය තුළින් අසත්‍ය යැයි විවේචනය කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති කොමිසම හමුවේ දිවුරුම් පිට ලබාදුන් සාක්ෂි බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජනාධිපති කොමිසමට පෙන්වා දුන්නා.

    එම නිවේදනය අන්තර්ගත කරුණු තුළ ජනාධිපති කොමිසමේ බලය හා අධිකාරියට කිසිදු ගරු කිරීමක් සිදු කර නොමැති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරිය එම නිවේදනය හිටපු ජනාධිපතිවරයාගේ නිල ෆේස් බුක් පිටුවට එක්කිරීම හරහාද පුළුල් ප්‍රචාරයක් හිමිව ඇති බව පෙන්වා දුන්නා.

    එසේම සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි විමසීම පිළිබද ප්‍රශ්න කිරීමට අනෙකුත් වගඋත්තරකරුවන්ට නිසි ක්‍රමවේදයක් සලසා ඇති පසුබිමක එම ක්‍රමවේදය අනුගමනය නොකරමින් අවිධිමත්ව තම මතය ජනතාවට ගෙන යාම හරහා දිවා රෑ නොබලා වෙහෙසෙන මෙම ජනාධිපති කොමිසමේ අධිකාරිමය බලය පහතට හෙළා ඇති බවද ඇය සදහන් කළා.

    ඕනෑම අධිකරණ ක්‍රියාවලියක් තුළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම අධිකරණමය කටයුත්තකට බලපෑම් එල්ල කිරීමක් බැවින් පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශවය ඉල්ලා සිටින පරිදි මෙම නිවේදනය නිකුත් කළ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සමීර ද සිල්වා කැදවා නිදහසට කරුණු විමසීමට තමන්ද එකග බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියා.

    මෙහිදි ජනාධිපති කොමිසම හමුවේ නැගී සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතා ඉල්ලා සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙන්ම හිටපු ජනාධිපතිවරයාට එරෙහිවද විධිමත් නෛතික පියවර ගතයුතු බවයි.

    කරුණු සලකා බැලීම අවසානයේ ඒ සම්බන්ධයෙන් වූ තීරණය හෙට දින කොමිසම් සභාවේ තීරණය දැනුම් දෙන බව කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

    ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් කොමිසම පළමු වරට සාක්ෂි විමසීම ආරම්භ කළා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඔබ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස ක්‍රියා කළ අවධියේ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඔබ යටතේ සේවය කළෙද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් පූජිත් ජයසුන්දර මහතා

    " මම 2013 දෙසැම්බර් මාසයේ සිට 2015 ජනවාරි මාසය දක්වා වූ කාලයේ උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළා. ඒ කාලයේ නිලන්ත ජයවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස මා යටතේ සේවය කළා. යනුවෙන් පිළිතුරු ලබාදුන්නා.

    මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 5 වෙනිදා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 6 වෙනිදා පාස්කු ප්‍රහාරය පිලිබද සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට කැදවා තිබෙනවා .

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 20:20

    Latest News