අගමැති මහින්ද-අගමැති මෝදි අතර ද්විපාර්ශවික සාකච්ජා (වීඩියෝ)

සැප් 26, 2020
  • දෙරටේම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නව පරිච්ජේදයක් ආරම්භ කිරීමට අවස්ථාව උදාවී ඇති බව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

     

    නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර අද පැවති ද්විපාර්ශවික සාකච්ජාවේදී මේ පිළිබඳ අවධාරණය කෙරිණ.  සාකච්ජාව පැවැත්වුණේ, අන්තර් ජාල වීඩියෝ තාක්‍ෂණය ඔස්සේයි.

     

    නරේන්ද්‍ර මෝදි මහතා සහ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරවලට පත්වීමෙන් පසු වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ කළ පළමු ද්විපාර්ශවික සාකච්ජාව මෙයයි.  එය ආරම්භ කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් එක් කළේය.

     

    පැවති මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දුන් පක්‍ෂය ලබාගත් විශාල මැතිවරණ ජයග්‍රහණය ඉන්දීය මහ මැතිවරණයේ දී භාරතීය ජනතා පක්‍ෂය නියෝජනය කරමින් තමා ලැබූ ජයග්‍රහණය හා සමාන බව, මෝදි මහතා සඳහන් කළේය.

     

    දෙරට අතර මහඟු සහයෝගීතාවයකට එම මැතිවරණ ජයග්‍රහණ ඉවහල්වනු ඇති බව, මෝදි මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ පිලිබඳව දෙරටේ ජනතාව නැවුම් බලාපොරොත්තුවකින් හා අපේක්‍ෂාවකින් බලා සිටින බව ද, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේය.

     

    අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර පුළුල් සාකච්ජාවක් පැවැත්වුණු අතර, ද්විපාර්ශවික සබඳතා හා දෙරටේ ප්‍රධාන ක්‍ෂේත්‍රයන්හි සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි සාකච්ජාවේදී විශේෂ අවධානය යොමු කෙරිණ.

     

    දෙරටේ ආරක්‍ෂක හා වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම ඇතුළු ක්‍ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දෙනු ලැබීය.



    Last modified on සෙනසුරාදා, 26 සැප්තැම්බර් 2020 20:06

    Latest News