හෙට (11) පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්; අධ්‍යාපන අමාත්‍යාංශය

ඔක් 10, 2020

    හෙට (11) පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

    කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විභාගය මෙවර පැවැත්වෙන්නේ විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙළක් යටතේයි. 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් තුන් ලක්‍ෂ 31,694 දෙනෙකු පෙනී සිටී. දිවයින පුරා මධ්‍යස්ථාන 2,936කදී විභාගය පැවැත්වෙන අතර, එය ආරම්භ කෙරෙන්නේ උදේ 9.30ටයි. කොවිඩ් අවදානම නිසා විශේෂ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක බැවින් උදේ 8.45වන විට සියලු අපේක්‍ෂකයින් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    සිසුන් තම විභාගය අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතුය. පිළිතුරු සැපයීමට පැන්සලක්, නිල් හෝ කළු පෑනක් භාවිත කළ හැක. 05 ශ්‍රේණිය මෙවර ශිෂ්‍යත්ව විභාගයට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කර තිබේ.

    කොවිඩ් අවදානම හේතුවෙන් ඇඳිරි නීතිය බල පැවැත්වෙන පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ක්‍රමවේද කිහිපයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව, විභාග ප්‍රවේශ පත්‍රය ඇඳිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැක. ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථාන 11ක් ක්‍රියාත්මකයි.

    ගනේමුල්ල පොලිස් බල ප්‍රදේශයේ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, යක්කල, ගම්පහ සහ වීරගුල යන පොලිස් බල ප්‍රදේශ සඳහා මිරිස්වත්ත කැප්පැටිපොළ මහා විද්‍යාලය, කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය, වැලිවේරිය, මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශ වෙනුවෙන් වැලිවේරිය මදුද්ම බණ්ඩාර මහා විද්‍යාලය ඊට ඇතුලත්.

    දොම්පේ සහ පූගොඩ යන පොලිස් බල ප්‍රදේශ සඳහා දෙකටන පද්මාවතී මහා විද්‍යාලය විභාග මධ්‍යස්ථානයක් ලෙස වෙන්කර තිබේ. නිට්ටඹුව සහ වේයන්ගොඩ යන පොලිස් බල ප්‍රදේශ සඳහා වේයන්ගොඩ ජනාධිපති මහා විද්‍යාලය, මීරිගම සහ පල්ලේවෙල යන පොලිස් බල ප්‍රදේශ සඳහා මීරිගම ඩී.එස්. සේනානායක ජාතික පාසල ද විශේෂ විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මකයි.

    මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය, දිවුලපිටිය ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය, සීදුව දවිසමර මහා විද්‍යාලය සහ ජා-ඇල හා කඳාන යන පොලිස් බල ප්‍රදේශ වෙනුවෙන් ජා-ඇල ශාන්ත මරියා මහා විද්‍යාලය ද ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන ලෙස පිහිටුවා තිබේ.

    සියළුම විභාග මධ්‍යස්ථාන ඊයේ සහ අද විෂබීජානුහරණය කෙරිණ. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහය ද ඊට හිමිවිය. හෙට ධාවනය කෙරෙන දුම්රියවල ශිෂ්‍යත්ව විභාගයට සහභාගි වන ළමයින් සඳහා මැදිරි දෙකක් වෙන් කිරීමට ද පියවර ගෙන තිබේ. එම මැදිරි සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ද විෂබීජානුහරණය කෙරිණ.

    අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පාසල් තුළ පවත්නා සූදානම පිළිබඳ සොයා බැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මාලඹේ රාහුල බාලිකා විද්‍යාලයට පැමිණි අතර, විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ද එක්ව සිටියහ.

    Latest News