හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ඔක් 10, 2020

    හෙරොයින් ග්‍රෑම් 26කට ආසන්න ප්‍රමාණයක් සමඟ කාන්තාවක අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    බන්ධනාගාර ගතව සිටින “අඟුලානේ සනා“ නැමැත්තාගේ දුරකතන ඇමතුම්වලට අනුව ඇය, හෙරොයින් බෙදා හැරීම් කර ඇති බව මූලික පරීක්‍ෂණවලදී හෙළි වී ඇත. මොරටුව, පොලිසිය ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ, අඟුලාන සයුරපුර නිවාස සංකීර්ණය ඉදිරිපිටදී. සැකකාරිය කලක් බන්ධනාගාර ගතව සිට ඇති බව පොලිසිය සඳහන් කරයි.

    මාතලේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත “බේබි අක්කා“ නමැති කාන්තාව සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කුඩු ග්‍රෑම් 08ක් සහ මිලිග්‍රෑම් 650ක්, රුපියල් 75,000ක් ඩිජිටල් තරාදියක්, ඒටීඑම් කාඩ් 06ක් සහ ජංගම දුරකතන 05ක් ද සමඟයි. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ, මාතලේ, කලුදෑවල නරිකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම කාන්තාවගේ නිවස පරීක්‍ෂා කිරීමේදී.

    නීති විරෝධි ගිනි අවියක් සමඟ සැකකරුවන් 2ක් අද බදුලේදී අත්අඩංගුවට ගැණින. බදුල්ල පොලිසිය වැටලීම සිදු කළේය. මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් වන මෙම ගිනි අවිය, නඩු භාණ්ඩයක් ලෙස බදුල්ල මහාධිකරණ ගබඩාවේ තැන්පත් කර තිබියදී සොරකම් කරන ලද්දක් බව, හෙළි වී තිබේ.

    මෙය 2015 වසරේ දී එල්ටීටීඊ සැකකරුවෙකු බදුල්ලේ දී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ ගිනි අවියක්. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා බදුල්ල මහාධිකරණයේ සේවකයන්.

    සෝමාවතී ජාතික වනෝද්‍යානයට නීති විරෝධි ලෙස ඇතුළු වී වැලි ජාවාරමේ යෙදී සිටි හා නීති විරෝධි ගිනි අවි ඇතුළු භාණ්ඩ රැසක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් 13 ක් ඊයේ සවස අත්අඩංගුවට ගැණින. එම වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන් විසින් එම වැටලීම සිදු කරනු ලැබීය. සැකකරුවන් අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    රන්න, නිදහස්ගම, කහදමෝදර ප්‍රදේශයේ දී බෝර 12 ගිනි අවියක් සහ ජීවඋණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් හුංගම පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

    යක්කල පොලිසිය පසුගියදා අමුණුගොඩ ප්‍රදේශයේ කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 5යි, ග්‍රෑම් 580ක් තම භාරයට ගෙන තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 22ක්. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරු, පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    අලෙවියට සූදානම් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවෙකු පොලොන්නරුව, බකමුණ, කෝට්ටපිටිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැණින. එය රුපියල් ලක්‍ෂ 50කට අලෙවි කිරීමට සූදානම් කර තිබිණ. මෙය ව්‍යාජ ලෙස සකස් කළ පිත්තල ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්. බකමූණ පොලිසිය වැටලීම සිදු කළ අතර, සැකකරු අද පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මූල්‍ය ගණුදෙනු ඇතුළු වංචා රැසකට සම්බන්ධ සැකකරුවෙකු වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී පසුගියදා අත්අඩංගුවට ගැණින. ඔහු බණ්ඩාර දිසානායක යන අන්වර්ත නාමයකින් පෙනී සිට මෙම වංචා සිදුකර ඇති බවහෙළි වී තිබේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News