ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්යක්ෂ පියදාස කුඩාබාලගේ මහතාගේ පැමිණිල්ලකට අදාලවයි හිටපු අග්‍රාමාත්‍යවරයා අද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේ.
මේ අතර 2015 පෙබරවාරි මාසයේ සිට 2017 ජූලී මාසය දක්වා දූෂණ මර්දන කමිටූ ලේකම් කාර්යාලයේ වියදම් සදහා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් මිලියන 33.7 කට අධික මුදලක් වියදම් කර ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
කොමිසම සදහන් කළේ එම කාර්යාලයේ නිලධාරීන් 44 දෙනෙකුට වැටුප් සහ දීමනා ලබාදීමට එම මුදල වැය කර ඇති බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවයි.
එය එසේ විය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලා .
දූෂණ මර්දන කමිටු කාර්යාලයේ නීති උපදේශක ලෙස කටයුතු කළ රජයේ ජේ්‍යෂ්ඨ නීතිඥ තුසිත් මුදලිගේ මහතාට අදාළ කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් රුපියල් දෙලක්ෂ හැට දහසකට අධික මුදලක් ගෙවා ඇති බව ද රනිල් වික්‍රමසිංහ මහතාට කොමිසම දැනුම් දුන් අවස්ථාවේ එම යෝජනාවද ඔහු පිළිගත්තා.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නෛතික භාවය පිළිබඳ කොමිසම රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විමසුවා.
එහිදී ඔහු සදහන් කළේ කමිටුව පිහිටුවීම නීති විරෝධී නොවන නමුත් කමිටුව ක්‍රියාත්මක වීමේදී නීත්‍යානුකූල ව කටයුතු කළ යුතු බවයි.
දුෂණ විරෝධි කමිටුවට නීති උපදෙස් ලබා දීම සදහා පුද්ගලයින් තෝරා ගැනීමේදී එය තමා විසින් සිදු නොකළ බවත් එය නීතිපතිවරයාගේ කර්තව්‍යයක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා .
කොමිසම ප්‍රශ්න කළේ එම පත් කිරීම් සිදු කළේ නීතිපතිතුමා ද යන්නයි
" මම දන්නේ නැහැ. මම තේරුවේ නැහැ ."රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු දුන්නා.
මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂයෙන් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වැටුප් සහ දීමනා ගෙවීම මුළුමනින්ම නීතියට පටහැනි බව දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කළා. ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ පැමිණිල්ල අද විභාගයට ගත් අවස්ථාවේදී.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ ගෙවීම් සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි, ගණකාධිකාරි සරත් කුමාර මහතා ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නා.
2015 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට 2017 ජූනි මාසය දක්වා රුපියල් බිලියන 3.7 ක වියදමක් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා වියදම් දරා ඇතැයි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා කොමිසමට ප්‍රකාශ කළා.
වැටුප් සහ දීමනා ලබාදුන් නිලධාරීන් 44 දෙනෙකුගේ නාමලේඛනය ද කොමිසමට ඉදිරිපත් කෙරුණා. නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, සහකාර අධ්යක්ෂවරුන්, උපදේශකවරුන් කළමනාකාර සහකාරවරුන්, සුළු සේවකයින් ඇතුළු කාර්ය මණ්ඩලයක් මීට ඇතුළත් වනවා. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය නමින් වෙනම වැටුප් ලේඛනයක් පවත්වාගෙන ගිය බව පිළිගත් අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරිවරයා කොමිසමට ඉදිරිපත් කර තිබූ පිටු 31කින් සමන්විත මුල් ලේඛනයට අමතරව 2015, 2016, සහ 2017 වර්ෂවලට අදාල සවිස්තරාත්මක මූල්‍ය වාර්තාවල සහතික කරන ලද මුල් ලේඛන ද ඇතුළුව කොමිසමට ඉදිරිපත් කළා.
පැමිණිල්ලේ නීතිඥවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැටුපට අමතරව දුරකථන, ඉන්ධන, වාහන සහ විදුලිය සඳහා දීමනා සැපයූ බව ද සරත් කුමාර මහතා සඳහන් කළා. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්යක්ෂවරයාව සිටි ආනන්ද විජේපාල මහතාට, රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාට කැබිනට් පත්‍රිකාවට අනුව ඔවුන්ගේ මූලික වැටුපෙන් 50% ක දීමනාවක් ගෙවා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා. මේ අතර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව මාසිකව රුපියල් 16,150ක ඉන්ධන දීමනාවක් මාසිකව රුපියල් 5000 බැගින් රුපියල් 47015ක දුරකථන දීමනාවක්ද ගෙවා තිබෙන බවට වන මූල්‍ය වාර්තා සරත් කුමාර මහතා කොමිසමට ඉදිරිපත් කළා.
කැබිනට් පත්‍රිකාවේ සඳහන් පරිදි මූලික වියදම ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් රුපියල් මිලියන 7 ක මුදලක් ද 2016 සිට 2014 වර්ෂය සඳහා අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය මගින් ද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබෙන තව කොමිසම හමුවේ අනාවරණය වුණා. 2015 වර්ෂයේදී භාණ්ඩාගාරයේ අයවැය දෙපාර්තමේන්තුව මගින් වරින්වර අතිරේක මුදල් ප්‍රතිපාදන ද ලබා දී ඇතැයිද සරත් කුමාර මහතා වැඩිදුරටත් කියා සිටියා.
කොමිසමේ විනිසුරුවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය සඳහා වන ගෙවීම් අනුමත කළ පුද්ගලයා කවුරුන්ද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් සරත් කුමාර මහතා ප්‍රකාශ කළේ මූලික වශයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පාලන අධ්යක්ෂවරයා විසින් ගෙවීම් අනුමත කරන අතර සහතික කිරීම සහ ගෙවීම් කටයුතු සිදු කිරීම ගණකාධිකාරිවරයා විසින් සිදුකරන බවයි.
දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පනතකින් ස්ථාපිත වූ එකක්ද යන්න පැමිණිල්ලේ නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා ඔහුගෙන් විමසා සිටියා. එය පනතකින් ස්ථාපනය වූවක් නොවන බවත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පිහිටුවන ලද්දක් බවත් මූල්‍ය අධ්යක්ෂවරයා ප්‍රකාශ කළා.
සභාපති විනිසුරු සඳහන් කළේ සේවකයින් බඳවා ගැනීම සහ වැටුප් ගෙවීම් සම්බන්ධව කටයුතු කිරීමේදී යම් පනතක් යටතේ ආයතනය පිහිටුවා තිබිය යුතු බවයි. දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය එසේ පත් කර තිබෙන බවක් දැන සිටියේ ද යන්න විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියා. සරත් කුමාර මහතා ඊට නැත යනුවෙන් පිළිතුරු දුන්නා.
පනතකින් ස්ථාපනය නොවු මෙවැනි ආයතනයක් විගණනය කිරීම සඳහා විගණකාධිපතිට බලය දී තිබුණේ ද යන්න මෙහිදී සභාපති විනිසුරු නැවතත් ප්‍රශ්න කළා. ඒ පිළිබඳව තමාට අවබෝධයක් නොමැති බව සරත් කුමාර මහතා ප්‍රකාශ කළා.
ආනන්ද විජේපාල මහතා ට මූලික වැටුපෙන් සියයට 50ක දීමනාවක් ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයක් මගින් අවසර ලබාදී තිබුණේද යන්න රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඔහුගෙන් විමසා සිටියා. එවැනි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් හෝ වෙනත් විශේෂ අනුමැතියක් නොතිබූ බවයි ඔහු ප්‍රකාශ කළේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය පිහිටුවා ඇත්තේ කුමන නීතියක් යටතේ දැයි සභාපති විනිසුරුවරයා නැවතත් සරත් කුමාර මහතාගෙන් ප්‍රශ්න කළා.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇතැයි ප්‍රධාන මූල්‍ය නිලධාරී සරත් කුමාර මහතා ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ කොටසක් වීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය පත්විය යුතු නේදැයි සභාපති විනිසුරුවරයා සරත් කුමාර මහතාගෙන් දැඩිව ප්‍රශ්න කර සිටියා.
සභාපති විනිසුරුවරයා කළ ප්‍රශ්න කිරීම්වලදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට කැබිනට් මණ්ඩල අනුමැතිය හැරෙන්නට වෙනත් නීත්‍යානුකූල අනුමැතියක් ලැබී නොමැති බව ද අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කළා.
සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් කියා සිටියේ තවත් රාජ්‍ය ආයතනයක සේවය කිරීමේ පදනම යටතේ මූලික වැටුපෙන් 50% ක් ගෙවීමට නම් නීත්‍යානුකූල රාජ්‍ය ආයතනයකට සේවයට යා යුතු බවයි. එහෙත් දූෂණ මර්දන ලේකම් කාර්යාලය වැනි ආයතනයකට අනුයුක්ත කිරීම රාජ්‍ය සේවය තුළ නීත්‍යානුකූල සේවා අනුයුක්ත කිරීමක් නොවන බව මෙහිදී සභාපති විනිසුරුවරයා අවධාරණය කළා.