දිවංගත ඩී. ඒ. රාජපක්‍ෂ මැතිතුමාගේ 53 වැනි ගුණ සමරුව

නොවැ 07, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ 53 වෙනි ගුණ සමරුවට සමඟාමීව වීරකැටිය, මැදමුලන නිවසේ දී සෙත් පිරිත් දේශනයක් හා අද (07) පෙරවරුවේ දානමය පිංකමක් පැවැත්විණි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පස්වරුවේ ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීම සිදු විය.

    මෙම අවස්ථාව සඳහා අමාත්‍ය චමල් රාජපක්ෂ, චන්ද්‍රා රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අමාත්‍ය නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක යන මහත්ම, මහත්මීන් ඇතුළු පවුලේ සාමාජිකයෝ එක්ව සිටියහ.

    මැදමුලනේ පිහිටි ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමාගේ හා දන්දිනා සමරසිංහ දිසානායක රාජපක්ෂ මැතිණියගේ ස්මාරක වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, පැවති පහන් පූජාව සඳහා ද පවුලේ සාමාජිකයින් සියලු දෙනා එක් වූහ.

    පිරිත් දේශනය සඳහා හපුගම්පොත පුරාණ මහා විහාරාධිපති පූජ්‍ය මිද්දෙනියේ ඉන්ද්‍රරතන නාහිමි, පල්ලෙ මුලන ගිරුවාසෑය විහාරාධිපති පූජ්‍ය සපුගස්යායේ ධම්මරතන නාහිමි හා හපුගම්පොත අතුල දක්ෂිණාරාම විහාරාධිපති පූජ්‍ය වකමුල්ලේ චන්ද්‍රවිමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

    දානමය පිංකම සඳහා රුහුණේ ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරි උභය රාජමහා විහාරාධිපති, ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය ආචාර්ය දේවාලේගම ධම්මසේන නාහිමි, සද්ධර්ම කීර්ති ශ්‍රී විමලසිරි රුහුණු මාගම්පත්තුව ඇතුළු ගිරුවාගම් දොළොස් දහස් රට ප්‍රධාන අධිකරණ සංඝනායක කසාගල රජමහා විහාරාධිපති පරිවෙණාධිපති පූජ්‍ය තලම්පොරුවේ ඉන්දු සුමන නාහිමියන් හා මාතර හම්බන්තොට දෙපළාතේ සංඝනායක මුල්කිරිගල රාජමහා විහාරාධිපති පූජ්‍ය බෙලිගල්ලේ සරණපාල හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළ වදාළහ.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, පවුලේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පමණක් මෙම ආගමික වතාවත් පැවැත්විණි.

    Last modified on සෙනසුරාදා, 07 නොවැම්බර් 2020 18:30

    Latest News