මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් කිරීමට පියවර

පෙබ 12, 2021

    මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කොමිෂන් සභාවක් බවට පත්කිරීම වහාම කඩිනම් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව නිර්දේශකර තිබේ.

    කෝපා කමිටුව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර මෙරට මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල කාර්යභාරය පිළිබඳ වූ කාර්යසාධන විගණන වාර්තාව සලකාබැලීම ද එහිදී සිදුකෙරිිණ.

    එහිදී ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ පවතින මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ ධාරිතාව වැඩිකොට ශක්තිමත් කිරීම සඳහා කොමිෂන් සභාවක් බවට පත්කිරීමට වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව නිර්දේශකර ඇත.

    මෙම ජාතික සභාව කොමිෂන් සභාවක් ලෙස ස්ථාපනය කිරීමට 2019 වසරේදී කැබිනට් අනුමැතිය ලැබුණ ද නැවතත් එම අනුමැතිය ඉල්ලා සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාදවී ඇති බව මෙහිදී අනාවරණයවී තිබේ.

    මේ අතර, මාර්ග අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 6 ත් 8 ත් අතර සංඛ්‍යාවක් මියයන බවත් 2007 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 25,607 දෙනෙකු මියගොස් ඇති බවටත් මෙම කමිටුවේදී තොරතුරු අනාවරණයවී තිබේ.

    මෙවැනි තත්ත්වයක් තුළ මාර්ග අනතුරු වළක්වාගැනීම සඳහා ජාතික කර්තව්‍යයක් ලෙස සලකා අදාළ සියලු පාර්ශ්වයන් සිය වගකීම් ඉටු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කරඇති බව සඳහන්ය.

    Latest News