බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාරදේ

පෙබ 12, 2021

    සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් බෞද්ධ හිමිකම් කොමිෂන් සභා වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විජේරාම පිහිටි නිල නිවසේ දී අද(12) පෙරවරුවේ භාර දෙනු ලැබුවේය.

    2018 වර්ෂයේදී පොසොන් පොහෝ දින මිහින්තලා පුදබිමේ දී ස්ථාපිත කළ මෙම කොමිෂන් සභාව දිවයින පුරා වසර දෙකකට අධික කාලයක් සාක්ෂි විමසීමට ලක්කර මෙම වාර්තාව සකස් කර තිබේ.

    සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා විසින් අග්‍රාමාත්‍යතුමාට කොමිෂන් සභා වාර්තාව භාර දුන්නේය.

    එම අවස්ථාවට බෞද්ධ හිමිකම් කොමිෂන් සභාවේ සභාපති පාලිත ප්‍රනාන්දු මහතා (විශ්‍රාමික නීතිපති) ඇතුළු කොමිෂන් සභා සාමාජිකයෝ ද එක්ව සිටියහ.

    මෙයට සමඟාමීව නූතන ගිහි බෞද්ධ ඉතිහාසය සහ බොදු සමුළු සියවස ග්‍රන්ථය ද අග්‍රාමාත්‍යතුමාට පිළිගැන්වීම සිදුවිය.

    ශ්‍රි ලංකාවේ උරුමය මෙරට සියලු ජාතීන්ට අයත් බව පෙන්වා දුන් නව සිහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියෝ, මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකම් දෙමළ මාධ්‍ය අධ්‍යාපනයට ඇතුළත් කිරීම පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් මෙහිදී ඉල්ලා සිටියහ.

    Latest News