සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 දිවයිනට

මැයි 26, 2021

    චීන රජයේ ප්‍රදානයක් ලෙස අද අළුයම මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

    එමෙන්ම චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක්ස් කොවිඩ් මර්දන එන්නත ද ශ්‍රී ලංකාවේ සහ චීනයේ හවුල් නිෂ්පාදනයක් ලෙස ඉදිරි මාස දෙකක පමණ කාලයක් තුළ මෙරට නිෂ්පාදනයට නියමිතයි.

    එන්නත් තොගය රැගත් ගුවන් යානය අද අළුයම 12.05ට පමණ මෙරටට ළඟාවිය. එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත නිල වශයෙන් භාරදෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී සෙන් හොං මහතායි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා චීන රජය සමඟ කරන ලද සාකච්ජාවල ප්‍රතිඵලයක් ලෙස මෙම දෙවන එන්නත් මාත්‍රා තොගය ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදී තිබේ. එන්නත් භාරගැනීමේ අවස්ථාවට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, නිලධාරින් ඇතුළු පිරිසක් එක්වූහ.

    Latest News