වනජීවි නිලධාරීන් සමඟ බහින්බස් වූ මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට

ජූලි 01, 2021

    හබරණ ප්‍රදේශයේ දී ඉකුත් ජුනි 25 දින වනජීවි සංරක්‍ෂණ නිලධාරීන් සමඟ ඇති වූ බහින්බස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයෙකු හබරණ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔහු අද උදේ පොලිසිය වෙත පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ජුනි 25 වැනිදා රාත්‍රියේ හබරණ, මරදන්කඩවල මාර්ගයේ මාර්ග බාධකයකදී වනජීවි සංරක්‍ෂණ නිලධාරීන්ට බලපෑම් කිරීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ හබරන පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණ.

    අදාල සිදුධිය සම්බන්ධයෙන් යුද හමුදා පාර්ශවයෙන් ද පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    ශ්‍රී ලංකා යුද හමුදාව සිද්ධියට අදාළව විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය වාර්තා වූ වහාම ආරක්‍ෂක මාණ්ඩලක ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිද්ධියට අදාළ කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කළේය.

    මීට සමගාමීව යුද හමුදා පොලිසිය ද පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ. අදාළ පරීක්‍ෂණ මණ්ඩල විසින් සිද්ධියට අදාළ සවිස්තරාත්මක විමර්ශන වාර්තාවක් කඩිනමින් යුද හමුදාපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

    Latest News