වී ගොවීන්ට සුභ පණිවිඩයක්

සැප් 07, 2024

    වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග වෙළෙඳ පළේ වී මිල ඉහළ ගොස් තිබෙනවා.  

    රජය විසින් මෙවර යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6000ක මුදලක් ලබා දීමට තීරණය කර තිබුණා. එහි පළමු අදියර වශයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දී ඇති අතර එම මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මිල දී ගැනීම සඳහා ගබඩා 36කට ආසන්න ප්‍රමාණයක් විවෘත කර තැබුණා.

    නමුත් මේ වනතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් ප්‍රමාණවත් පරිදි වී අලෙවි කර තිබේනේ නැහැ. මෙතෙක් වී අලෙවි මණ්ඩලයට ගොවීන් විසින් අලෙවි කර තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 100,000ක් තරම් සුළු ප්‍රමාණයක් බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පවසනවා.

    කෙසේ වුවද වී අලෙවි මණ්ඩලය වී මිල දී ගැනීම ආරම්භ කිරීමත් සමග පුද්ගලික අංශය විසින් ඉහළ මිලකට වී මිල දී ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව රුපියල් 105-110ත් අතර පැවැති කීරි සම්බා වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 130 ඉක්මවා ඇති බවත් මේ හේතුවෙන් රටේ පළමු වතාවට සම්බා වී කිලෝවක මිල ද රුපියල් 130 ආසන්න ප්‍රමාණයකටත් පැමිණ තිබෙනවා.

    එබැවින් ගොවීන්ගේ වී අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලැබී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද වී අලෙවි මණ්ඩලයට වී නොලැබුනද ගොවි ජනතාවගේ වී වගාව සඳහා ඉහළ මිලක් ලබා දීමට වී අලෙවි මණ්ඩලයට හැකිවීම ජයග්‍රහණයක් යැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලා.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2024 11:09

    Latest News