ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ විත්තිකරුවන්ට ඇප

සැප් 27, 2019

    ගාලු වරාය ආසන්න මුහුදු තීරයේ එම්. වී. ඇවන්ගාඩ් නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනිඅවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගතව සිටි විත්තිකරුවන් පස් දෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළේය.

    විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල , ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර ඇතුළු පස් දෙනෙකු මෙසේ ඇප මත මුදා හැරීමට නියෝග කෙරිණ. ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝග කළේය.

    ඒ අනුව එක් එක් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරයට ගැනීමට නියම කෙරිණ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහධිකරණය මගින් ඇප මත මුදා හල තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු ද අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් ද පෙර ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

    නඩුව නැවත නොවැම්බර් මස 8 වනදා කැඳවීමට ද නියමිතයි. අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීම සිදු විය.

    නඩුව කැඳවූ අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි ඇවන්ගාඩ් සමාගම, එම සමාගමේ සභාපති නිස්සංක යාපා සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න, බාලසුබ්රමනියම් ප්‍රේමචන්ද්‍රන් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. මෙම නඩුවේ අටවන විත්තිකරු ලෙස නම් කර සිටි විශ්වජිත් නන්දන දියබලනගේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණ. එම විත්තිකරු ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

     ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී අත්අඩංගුවට (10:52:)

    ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළව අවශ්‍යව සිටි තවත් සැකකරුවෙකු අද(27) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ. බලපත්‍ර නොමැති ගිනි අවි 816 ක් සහ ලක්ෂ 2 කට අධික පතොරම් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබු ඇවන්ගාඩ් නැව සම්බන්ධ නඩුවට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

    ඇවන්ගාඩ් හී සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානී ලෙස ක්‍රියා කර ඇති මෙම පුද්ගලයා අද අළුයම 00.15ට පමණ සිංගප්පූරුවේ සිට SQ 468 යානයෙන් මෙරටට පැමිණෙමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු මුලස්ථානය වෙත බාර දී ඇත.

    කලපලුවාව, රාජගිරිය ලිපිනයේ පදිංචි විෂ්වජිත් නන්දන දියබලනගේ නැමති මෙම සැකකරු සිංගපූරුවට ගොස් තිබු අතර, ඔහුට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගුවන් ගමන් තහනමක් ද නිකුත් කර තිබිණි.

    සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධියට අදාළ නඩුව අද දින ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතව ඇත.

    මෙම සිද්ධියට අදාළව මෙම සැකකරු ද සමඟ මේ වන විට සැකකරුවන් 8 ක් අත්අඩංගුවට පත්ව තිබේ. මෙම සැකකරු හැර තවත් සැකකරුවන් 4 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර සැකකරුවන් 3ක් ඇප මත සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 19:28

    Latest News