සංචාරක කර්මාන්තය අලුත් දිශාවකට

පෙබ 14, 2019

    ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවුම් දිශාවක් කරා යොමු කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සූදානම් වේ. ඒ අනුව අන්තර්ජාතික ත්‍රාසජනක ක්‍රීඩා සැණකෙළියක් වන ත්‍රාසජනක තරග ලෝක ශූරතාවලිය (Adventure Racing World Championship) ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ.

    මෙම තරගාවලිය දෙසැම්බර් මස 03 සිට 13 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙවැනි තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

    තරගාවලියට දුෂ්කර මාර්ග තරණය, පාපැදි ධාවනය, ඔරු පැදීම ඇතුළු ත්‍රාසජනක ක්‍රීඩා රාශියක් ඇතුලත් වේ. මෙම තරගාවලියත් සමග ශ්‍රී ලංකාව ත්‍රාසජනක ක්‍රීඩා සහිත සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත වනු ඇත.

    ලෝකයේ සතර දිග කණ්ඩායම්වලට මෙම තරගාවලිය සඳහා ආරාධානා කරන අතර ඇතුලත් වීම පෙබරවාරි 15 සිට ආරම්භ වේ. මේ සඳහා සහභාගිවන්නන්ට ශ්‍රී ලාංකික ආහාර, සංස්කෘතිකාංග, දර්ශනීය ස්ථාන සහ ආගන්තුක සත්කාර සමගින් අමතක නොවන අත්දැකීමක් අත්විඳීමට හැකි වනු ඇත.

    සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන්, තරගාවලියේ ජාත්‍යන්තර කණ්ඩායම සමග හමුවක් පසුගිය දා පැවැත්විණි.

    මේ තරගාවලිය සඳහා මාධ්‍යවේදීන්, ස්වෙච්ඡා සේවකයින් ඇතුළු 500කට අධික පිරිසක් සහභාගීවනු ඇති අතර අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක පමණ මුදලක් මේ සමග ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට තක්සේරු කෙරේ. එමගින් දේශීය ආර්ථික ශක්තිමත් කරමින් තව තවත් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට හැකි වනු ඇත.

    අන්තර්ජාලය ඔස්සේ මෙම තරගාවලියට 100,000ක පමණ ප්‍රේක්ෂක පිරිසක් එක්වන අතර මේ සම්බන්ධව පැයක පමණ වාර්තා වැඩසටහනක් ලොව පුරා විකාශය වනු ඇත.

    Latest News