හිටපු පොලිස්පති පාස්කු කොමිසමට 11 වැනි දිනටත් සාක්‍ෂි දෙයි

ඔක් 10, 2020

    පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්‍ත ප්‍රහාරය පිළිබද විදෙස් බුද්ධි අංශයකින් ලද පෙර දැනුවත් කිරීමේ තොරතුරු ප්‍රහාරයට පෙර එවකට රාජ්‍ය නායකයා වූ හිටපු මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන සිටියේයැයි තමන් කිසි ලෙසකින් විශ්වාස නොකරන බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා.

    ජනාධිපති කොමිසම හමුවේ අද එකොළොස්වන දිනටත් සාක්ෂි දෙමින් හිටපු පොලිස්පතිවරයා සදහන් කළේ සෑම තොරතුරක් පිළිබදවම රටේ ප්‍රධානියා දැනුවත් කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා මෙම තොරතුර පමණක් දැනුවත් නොකළ බව තමන් පිළිනොගන්නා බවයි.

    මේ අතර හෙට ප්‍රහාරයක් එල්ලවනවා යැයි පාස්කු ප්‍රහාරයට පෙර දින රාජ්‍ය බුද්ධි සේවය තමන් දැනුවත් කර තිබියදිත් පොලිසිය සතු හදිස්සි අවස්ථාවලදි ක්‍රියාත්මක කළ හැකි සැලසුම් ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු නොකළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද පිළිගත්තා.

    එහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ රාජ්‍ය බුද්ධි සේවය සහ යුධ හමුදා බුද්ධි අංශ අන්තවාදය සහ සහරාන් හෂීම්ගේ ක්‍රියාකාරකම් පිළිබද දිගින් දිගටම එකම දෙව් දැනුවත් කර තිබියදීත් නිද්‍රෝපගතව සිටියේ මන්ද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් පූජිත් ජයසුන්දර මහතා කියා සිටියේ තමන් නිද්‍රෝපගතව සිටියා යැයි කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

    ඒ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ,

    " මට ජාතික ආරක්ෂක කවුන්සලය තහනම් කර තිබුනේ. කපිල වෛද්‍යරත්න මහත්තයාගෙන් වෙනත් නිලධාරියෙකු එවන්නද අහපුවමත් අවශ්‍ය වුනොත් කියන්නම් කිව්වා. දේශපාලන පරිසරය, රාජ්‍ය ප්‍රතිපත්ති, ආණ්ඩුව තුළම වූ ගැටීම් මේ සිදුවීමට ප්‍රබලව බලපෑවා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සෘජුවම රාජ්‍ය නායකයා සමග සම්බන්ධවෙලා හිටියේ. මම කතාකරාට කිසිම දෙයක් කිව්වේ නැහැ. මගහැරියා විතරයි. සමහර විට ලද උපදෙස් නිසා වෙන්න ඇති. සිද්ධියක් වුනාම සම්පුර්ණ වගකීම පොලිස්පතිට පැවරෙනවා. නමුත් ඊට පෙර කිසිදු සම්බන්ධිකරණයක් පොලිස්පතිට නැහැ. රට ගැන සිතලා තීරණ ගතයුතු අය තීරණ නොගැනීම නිසයි මේ දේ වුණේ. " යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු ලබාදුන්නා.

    මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හදිස්සි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සතුව හදිසි ආරක්ෂක සැලැස්මක් තිබුණේද යන්නයි.

    එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා කියා සිටියේ,

    "සෑම පොලිස් ස්ථානයකම ආරක්ෂක පෙට්ටියේ තියෙනවා හදිස්සි අවස්ථාවක ක්‍රියාත්මක වෙන්න සැලැස්මක්. මේ විදිහට පොලීසියේ එක එක මට්ටම්වලට තියෙනවා හදිස්සි අවස්ථාවලදි ක්‍රියාත්මක වෙන්න සැලැස්මක්. ඒ සැලැස්ම කාලාන්තරයක් පුරා පැවත ආ දෙයක්. පොලිස්පතිට වෙනම මෙහෙයුම් මැදිරියක් තිබුණා. ඒ මැදිරිය තුළ රටේ සියළුම පොලිස් ස්ථාන සමග එකවර ක්‍රියාත්මකවිමේ හැකියාවක් තිබුණා. නමුත් 2015 න් පස්සේ පොලීසිය විතරක් නෙමේ සමස්ථ රාජ්‍ය තන්ත්‍රයම වෙනත් ප්‍රමුඛතාවලට යොමුවුණා. ඒ නිසා මෙම හදිස්සි ආරක්ෂක සැලැස්මවල් ක්‍රියාත්මකවීම කෙරෙහි පුහුණුවක් ලබලා තිබුනේ නැහැ." යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු දුන්නා.

    එහිදි ජනාධිපති කොමිසමේ සමාජික කොමසාරිස්වරිය විමසා සිටියේ ප්‍රහාරයක් සිදුවන බවට වූ පෙර දැනුවත් කිරීමේ විදෙස් බුද්ධි තොරතුර අප්‍රේල් 09 පොලිස්පතිවරයා වූ ඔබට ලැබීමෙන් පසු ඒ පිළිබද විශේෂ හදිස්සි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කළේද යන්නයි.

    "නැහැ ස්වාමිනි, මේකටමයි කියලා විශේෂ ආරක්ෂක සැලැස්මක් හැදුවේ නැහැ. මොකද මේ 09 වෙනිදා ලද තොරතුර නිශ්චිත නොවුණ නිසා." යැයි ජයසුන්දර මහතා පිළිතුරු දුන්නා.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා පෙරළා ප්‍රශ්න කළේ,

    " 09 තොරතුර අමතක කරන්න, 20 සවස රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කතා කරලා හෙට ගහනවා යැයි කීවාට පස්සෙත් ඇයි ඒ වෙලාවෙම ඔහුව සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කැදවලා රැස්වීමක් තියලා හදිස්සි ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක නොකළේ " යන්නයි.

    එයට පිළිතුරු දෙමින් ජයසුන්දර මහතා කියා සිටියේ,

    "ස්වාමිනි මට ඒ වෙලාවේ සාකච්ඡා කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. මට තොරතුර දැනුම් දෙන්නයි ඕන වුනේ. ඒ නිසයි මම මා යටතේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දැනුවත් කළේ. කළයුතු රාජකාරිය ජ්‍යෙෂ්ඨ නිලධාරින් දන්නවා. අනික 20 සවසත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මට කිව්වේ 09 තොරතුරේ Development එකක් හෙට මොනාහරි සිද්ධියක් වෙන්න පුළුවන් කියලා විතරයි. එකයි මම කිව්වේ නිලන්ත ඔයා නන්දන මුණසිංහට ගන්න. මාත් Follow කරන්නම් කියලා. අනික රාජ්‍ය බුද්ධි සේවයට ඒ වෙද්දිත් තමන්ගේ කියලා හොයාගත්තු නිශ්චිත තොරතුරක් තිබුණේ නැහැ. විදෙස් බුද්ධි තොරතුරට අමතරව. ඒ නිසයි එයාලා මේ තොරතුරු විධිමත්ව අවශ්‍ය අංශවලට යොමුකළේ නැත්තේ. කොහොම වුනත් මම කොහෙත්ම විශ්වාස කරන්නේ නැහැ මේක රාජ්‍ය නායකයාට නොකිව්වා කියලා. " යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු දුන්නා.

    එහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ,

    "බලාගෙන යනකොට ඔබ හැමතැනටම උප නිලධාරින් යොදවන එකනේ කරලා තියෙන්නේ. ඔබේ රාජකාරිය එතනින් ඉවරද..? යන්නයි.

    " මම ස්වාමිනී පොලිස්පති හැටියට මෙහෙයුම්වලට යන්නේ නැහැනේ. මම කොහේ හරි ඉදලා මෙහෙයුම් මෙහෙයවන එකයි කරන්නේ. එකයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කළේ. " යැයි හිටපු පොලිස්පතිවරයා පිළිතුරු දුන්නා.

    මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ ඉකුත් වසරේ අප්‍රේල් මස 20 දින ඔබ ක්‍රියා කළේ රටේ නීතිය හා සාමය දෙපාර්තමේන්තුව භාර ප්‍රධානියා ලෙසද, නැතිනම් පණිවුඩකරුවෙක් ලෙසද යන්නයි.

    එයට පිළිතුරුදෙමින් පූජිත් ජයසුන්දර මහතා,

    "පොලිස්පතිත් සමහර අවස්ථාවලදි පණිවුඩකරුවෙක් වෙනවා. නමුත් ඔබතුමිය අදහස් කළ ආකාරයේ පණිවුඩකරුවෙක් නෙමේ " යැයි පැවසුවා.

    Latest News