කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා

ඔක් 10, 2020

    කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුට කොරෝනා වැළඳී ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එහි වාට්ටු දෙකක් සහ ශල්‍යාගාරයක් ද තාවකාලිකව වසා දමා තිබේ.

    ඉකුත් 05 වැනිදා වනවිට දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව හඳුනා ගැනුණු රෝගීන් සංඛ්‍යාව 103ක්. 06 වැනිදා රෝගීන් 729 දෙනෙකු වාර්තා විය. ඊට පසු දින වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 202ක්. 08 වැනිදා තවත් රෝගීන් 19 දෙනෙකු හඳුනා ගැණින. ඊයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 30ක්.

    පානදුර මුලික රෝහල් දැඩි සත්කාර ඒකකය ඊයේ රාත්‍රී සිට තාවකාලිකව වසා දමා තිබේ. ඒ එහි සේවිකාවකගේ දියණියකට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට වාර්තාවීම හේතුවෙන්. දැඩි සත්කාර ඒකකය තුළ සිටි රෝගීන් තිදෙනෙකු ඇතුලු 15කගෙන් යුත් කාර්ය මණ්ඩලය එම ඒකකය තුළම ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ. එම දියණිය නේවාසිකව රැඳී සිටින ස්ථානයේ සිටින ඇගේ යහළුවාගෙන් ඇයට රෝගය වැළඳී ඇති බව වාර්තාවේ. එම යෙහෙළියට ඥාතියෙකුගෙන් රෝගය වැළඳී ඇති බව සඳහන්.

    රිජ්වේ ආර්යා ළමා රෝහලේ සාත්තු සේවිකාවකට ද කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ. ඇය සේවය කළ වාට්ටුවේ සේවකයින් සියළු දෙනාම පී සී ආර් පරීක්‍ෂණ සඳහා යොමු කෙරිණ. එම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ පියෙකුට රෝගය වැළඳී ඇති බවට, ඉකුත්දා හඳුනා ගැණින. නමුත්, පසුව කළ පීසීආර් පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ, එම පුද්ගලයාට රෝගය වැළඳී නොමැති බවයි.

    රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් බැලීමට යාමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් තරයේ පිළිපදින ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පවසයි. නේවාසික රෝගීන් බැලීම අවම කරන ලෙස ද දැනුම් දේ.

    එම රෝගීන් සඳහා රැගෙන යන ද්‍රව්‍ය, රෝගියා මුණගැසී ලබාදීම වෙනුවට රෝගියා වෙත වෙනත් සුදුසු ක්‍රමවේදයක් ඔස්සේ ලැබෙන්නට සැලැස්විය හැක. අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ළඟම තිබෙන රෝහල වෙත යන ලෙස ද ඔහු නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

    ගම්පහ ප්‍රදේශයේ ඇති වී තිබෙන වසංගත තත්වයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මකයි. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ පිළිබඳ විශේෂ සාකච්ජාවක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. ඊට සෞඛ්‍ය අංශ ඇතුළු රජයේ නිලධාරීන් එක්ව සිටියහ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු නිලධාරීන් සඳහා මුව ආවරණ පනස් දහසක් පරිත්‍යාග කෙරිණ. ඒ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා විසින්.

    පවතින වසංගත තත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය ඒ සඳහා සූදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සාකච්ජාවක් පැවැත්විණ. ඒ අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. අදාළ ප්‍ර දේශවල පුද්ගලයින් නිරෝධායන ඇඳිරිනීතිය කඩ කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    දුර ගමන් සේවා බස් රථවලට එම ප්‍රදේශ ඔස්සේ ගමන් කළ හැකි වුවද, මගීන් නංවා ගැනීම සහ බැස්සවීම තහනම්. අනෙකුත් ප්‍රදේශවල පිරිස් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න සොයා බැලීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඇඳිරි නීති පනවා ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ඔසුසැල්, සතොස වැනි ස්ථාන ද විවෘත කර තිබේ.

    Latest News