2006 දී එක්සත් ජාතීන්ගේ 61/225 යෝජනාව සම්මත වීමෙන් එතැන් පටන් සෑම වසරකම නොවැම්බර් 14 දා ලෝක දියවැඩියා දිනය ලෙස නම් වූ අතර, 1922 දී චාල්ස් බෙස්ට් සමඟ ඉන්සියුලින් සොයා ගත් ශ්‍රීමත් ෆෙඩ්රිික් බැංටින්ගේ උපන් දිනය වන නොවැම්බර් 14 දින ලෝක දියවැඩියා දිනය සමරනු ලබයි.
2020 ලෝක දියවැඩියා දිනය සඳහා තේමාව වී ඇත්තේ "හෙදිය සහ දියවැඩියාව" යන්නයි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේදී හෙදියන් විසින් ඉටු කරනු ලබන තීරණාත්මක කාර්ය භාරය පිළිබඳව දැනුවත් කිරීම මෙවර ලෝක දියවැඩියා දිනයේ මූලික අරමුණ වී තිබේ. ඒ සඳහා රටවල් 160 කට අධික සාමාජිකත්වයකින් යුතු අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය පෙරමුණ ගෙන ඇති අතර ඔවුන් දියවැඩියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක, ගෝලීය මට්ටමේ ඇති වැදගත්ම සංවිධානයයි.
සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතිවල තිරසර සංවර්ධනයට සමගාමීව දියවැඩියාව වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ රැකබලා ගැනීම සඳහා ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමට මෙම සංවිධානය ගන්නා උත්සාහයට ශ්‍රී ලංකාවේ සහය නිතැතින්ම හිමිවන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.
පසුගිය දශකය තුළ දියවැඩියා රෝගය අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වේගයෙන් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාව තුළ ද දියවැඩියා තත්ත්වය දිනෙන් දින ඉහළ යන බවක් පෙන්වයි. වැඩිහිටියන් පමණක් නොව තරුණ තරුණියන් සහ කුඩා දරුවන් පවා දියවැඩියාව රෝගයට ගොඳුරු වෙයි.
එසේම කොවිඩ්-19 වසංගතයට මුහුණ දීම සදහා මෙන්ම මෙවැනි බෝ නොවන රෝගවලින් ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීමට හෙද හෙදියන් දක්වන විශිෂ්ට කැපවීම අගය කරමි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් අභියෝග රැසකට මුහුණ දෙන අතර ඔවුන්ට උපකාර කිරීමට හෙදියන්ට කුසලතා ඇති කිරීම සහ උසස් අධ්‍යාපනයක් ලබා දීම රජය අදහස් කර ඇත.
දැනටමත් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාගෙන රෝගය පාලනය කරගැනීමටත්, දියවැඩියාව අවදානමේ පසුවන සියලු දෙනාට ඒ පිළිබදව සැලකිලිමත්වීමටත් අද දිනයේ කෙරෙන රජයේ දැනුවත්වීම් උපයෝගී කරගන්නැයි ඉල්ලා සිටිමි.